හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග (අරුණ වර්ෂ විතාන) යන තිදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නැමැත්තාගෙන් රුපියල් කෝටි 12ක (ලක්ෂ 1200ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අදාළවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි ‘හරක් කටා’ පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරවා ගැනීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් ඔහුව නිදහස් කර සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දීම සඳහාත් මෙම මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම කටයුත්ත වෙනුවෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් මුලින්ම රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ. පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩු කර ඇති අතර, ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් කෝටි 12ක් මෙලෙස අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයට චෝදනා එල්ල වී තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු වන සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්යක්ෂවරයා ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇත.








