උපේක්ෂා උඩුවැරැල්ල –
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ බරපතළ හානි හේතුවෙන් මාස හතකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ නානුඔය සහ බදුල්ල අතර මගී දුම්රිය සේවාව අද (2026 ජූනි 20) උදෑසන සිට නිල වශයෙන් යළි ආරම්භ කෙරිණි. ඒ අනුව අද උදෑසන 9.00ට නානුඔය දුම්රිය ස්ථානයේ පැවැති බහු ආගමික වත්පිළිවෙත් සහ උත්සවයකින් අනතුරුව ‘පොඩි මැණිකේ’ දුම්රිය බදුල්ල බලා පිටත්වීමත් සමඟ මෙම ධාවන කටයුතු යථා තත්ත්වයට පත් විය.
2025 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අතිශය බරපතළ හානි සිදු විය. විශේෂයෙන්ම කන්ද, බදුල්ල සහ මාතලේ මාර්ග ඇතුළු උඩරට දුම්රිය මාර්ග පද්ධතියේ ස්ථාන කිහිපයකම භූගත ඛාදනය හේතුවෙන් දුම්රිය මාර්ග කොටස් එල්ලෙමින් පැවැති අතර, සමස්තයක් ලෙස නායයාම් සහ පාලම්වලට හානි සිදුවීම් 159කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබිණි.
මේ අතරින් නානුඔය සහ බදුල්ල අතර ධාවන කටයුතුවලට සෘජුවම බාධා එල්ල කරමින් වැඩිම හානියක් සිදුව තිබුණේ නානුඔය සහ අඹේවෙල අතර පැරකුම්පුර (Parakumpura) ප්‍රදේශයේය. එහි සිදුවූ බරපතළ නායයාම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර, ඒ හේතුවෙන් මාස 7කට ආසන්න කාලයක් දුම්රිය ධාවනය අඹේවෙල සහ බදුල්ල අතර පමණක් සීමා කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා වැඩ කොටස, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය (NBRO) සහ පෞද්ගලික ආයතනයක් ඒකාබද්ධව මාස කිහිපයක් පුරා මෙම විනාශ වූ කොටස් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත විය. දුර්ගම කඳුකර භූමිය, ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අදාළ ස්ථාන වෙත බරපතළ යන්ත්‍රෝපකරණ ප්‍රවාහනය කිරීමේදී මතු වූ අභියෝග රැසක් මධ්‍යයේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමට කණ්ඩායම් සමත් විය. මෙහිදී ඉදිරි කාලයේදී සිදුවිය හැකි නායයාම් වළක්වා ගනිමින් මාර්ගය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂිත ඉංජිනේරු තාක්ෂණික ආරක්ෂක ක්‍රමවේදද යොදාගෙන තිබීම සුවිශේෂී වේ.
ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ වීමත් සමඟ අද සිට නානුඔය සිට බදුල්ල දක්වා මගී දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. ‘පොඩි මැණිකේ’ දුම්රියට අමතරව මෙම මාර්ගයේ ධාවනය වීමට නියමිත අනෙකුත් දුම්රියන් ද සුපුරුදු පරිදි ධාවනය වූයේය. මෙම සියලු දුම්රියන් සඳහා පළමු පන්තියේ වායු සමීකරණ පහසුකම් සහ දෙවන පන්තියේ වෙන් කළ ආසන පහසුකම් ඇතුළත් කර ඇති අතර, මගීන්ට ඒ සඳහා වන ආසන වෙන් කරවා ගැනීම් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ හෝ දුම්රිය ස්ථාන වෙත පැමිණ සිදු කිරීමට අවස්ථාව සලසා ඇත.
ලෝකයේ වඩාත්ම සුන්දර දුම්රිය ගමනාන්තයක් ලෙස සැලකෙන නානුඔය සිට බදුල්ල දක්වා වූ මෙම දුම්රිය මාර්ගය සශ්‍රීක තේ වතු, උස් කඳු වැටි, ඓතිහාසික උමං මාර්ග සහ ඉහළ පාලම් සපිරි දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ඉහළම ආකර්ෂණය දිනාගත් මාවතකි. මෙම සේවාව යළි ආරම්භ වීමත් සමඟ මෙතෙක් කඩාවැටී තිබූ උඩරට සංචාරක කර්මාන්තයට මෙන්ම ප්‍රදේශයේ ආර්ථික හා වෙළඳ කටයුතුවලටද විශාල උත්තේජනයක් සහ පුනර්ජීවනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ප්‍රකාශ කරන්නේ, මෙම වසර අවසන් වීමට ප්‍රථම කොළඹ සිට බදුල්ල දක්වා වූ සම්පූර්ණ දුම්රිය ධාවන කටයුතු කිසිදු බාධාවකින් තොරව යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. මෙය දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස බැටකෑ උඩරට දුම්රිය මාර්ග පද්ධතියේ සම්පූර්ණ ප්‍රතිසාධන ක්‍රියාවලියේ සනිටුහන් වූ සුවිශේෂී සහ තීරණාත්මක ජයග්‍රහණයකි.





