ඉඳුනිල් කහටපිටිය –
අද පාර්ලිමේන්තුවේදී පැවැති වැට් බදු පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විපක්ෂයේ හැසිරීම සහ ඔවුන් එල්ල කරන චෝදනා දැඩි විවේචනයකට ලක් කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාතෘකාවෙන් පිට යමින් සිදුකරන ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලියට බියෙන් සිදුකරන විකාර දෙඩවිලි බව පැවසූ අමාත්‍යවරයා විපක්ෂය අද ප්‍රකට කළ හැසිරීම සලකුණු කරමින් සෙංකෝලය රැගෙන ගොස් එය ගිල්ලත් නඩු අසන වේගය සහ දඬුවම් දෙන වේගය අඩු නොකරන බව අවධාරණය කළේය..
“මාතෘකාවෙන් පිට පැන ඉදිරිපත් කරන අභූත චෝදනා”
අද දින විවාදයට නියමිතව තිබුණේ වැට් බදු පිළිබඳ පනතක් වුවද, විපක්ෂයේ කතා පැවැත්වූ බොහොමයක් දෙනා සුපුරුදු පරිදි මාතෘකාවෙන් පිට ගිය බව අමාත්‍යවරයා මුලින්ම පෙන්වා දුන්නේය. එහිදී ඔවුන් පොදුවේ චෝදනා දෙකක් ඉදිරිපත් කළ බව පැවසූ අමාත්‍යවරයා, එම චෝදනා පිළිබඳව මෙසේ සඳහන් කළේය.
“එකක්, මේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට රජය උත්සාහ කරනවාය, නීතියේ විධානයේ ආධිපත්‍යය තර්ජනයට ලක්වෙලාය, ඒ දේ කරන්න හදන්නේ විශ්‍රාම විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම හරහාය, එසේ කරන්නේ යම් යම් නඩුකාරයන්ව දිගටම තබා ගැනීමටය යනාදී වශයෙන් අභූත, විලම්භීත කරුණු රාශියක් ඉදිරිපත් කරනු ලැබුවා.”
“අතීතයේ නඩුකාරයන්ගේ ගෙවල්වලට ගල් ගැසූ අය අද ආධිපත්‍යය ගැන කතා කරනවා”
එම චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය බලයට පත්වූයේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවයි. අතීතයේ පැවති තත්ත්වය සහ වත්මන් විපක්ෂයේ පසුබිම සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසීය.
“මේ රටේ අතීතයක් තිබුණා ගරු සභාපතිතුමියනි, ධනය, බලය තියෙන අයට නීතිය එක විදිහකට ක්‍රියාත්මක වුණ. දේශපාලන බලය තියෙනවා නම් ඕනෑම වරදකින් නිදහස් වෙන්නත් පුළුවන් කාලයක් මේ රටේ තිබුණා. ඒ වගේම තමන්ට නඩු නොවැටී ඉන්න පක්ෂ මාරු කරපු යුගයක් මේ පාර්ලිමේන්තුව තුළ තිබුණා. ඒ වගේම අද අපිට නීතියේ විධානයේ ආධිපත්‍යය කියාදෙන සමහරෙක් අය ඉන්නේ ඇප පිට එළියේ. තව කට්ටියක් නඩුවල විත්තිකාරයෝ.
ඒ වගේම මෙම නීතියේ විධානයේ ආධිපත්‍යයට කතා කරන උදවිය නඩුකාරතුමන්ලාගේ ගෙවල්වලට ගල් ගහලා තියෙනවා ඒගොල්ලෝ බලයේ ඉන්න කාලේ. ඒගොල්ලන්ට බලය තියෙන කාලේ ශිරාණි බණ්ඩාරනායක අග්රවිනිශ්චයකාරතුමියන්ව අනීතික ලෙස පීඩාවට ලක් කරලා තිබෙනවා. එහෙම කරන අය තමයි අද අපිට නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන දේශන පවත්වන්න එන්නේ. ඒකත් හරියට ගරු සභාපතිතුමියනි, කුඩු බොන මිනිහෙක් කුඩු නොබොන එකෙක්ව වාඩි කරවලා ඌට කුඩුවල තියෙන අගතිය කියා දුන්නා වගේ විකාර වැඩක්ම තමයි.”
“නරියා කුකුල් කොටුවට දක්වන අනුකම්පාව වගේ වැඩක්”
විපක්ෂයේ වත්මන් හැසිරීම දැඩි උපහාසයට ලක් කළ අමාත්‍යවරයා, ඔවුන්ට දැන් නීතිය නැමීමට කිසිදු ඉඩක් නොමැති බව පෙන්වා දුන්නේය.
“දැන් මේගොල්ලන්ට අවස්ථාවක් නැහැ නීතියේ විධානයේ ආධිපත්‍යය කන්න. තිබුණා නම් කනවා. මේගොල්ලෝ දැන් මේ දක්වන අනුකම්පාව කොයි වගේද? හරියට නරියා කුකුල් කොටුවට දක්වන අනුකම්පාවම තමයි තියෙන්නේ.
මා පැහැදිලි කරලා කියනවා. එක… නඩුකාරතුමන්ලාව පත්කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත, ව්‍යවස්ථාදායක මණ්ඩලය, ජනාධිපතිවරයා. ඒ ඇතිවෙලා තිබෙන පුරප්පාඩු (vacancies) පිරවීම සඳහා දැනටමත් කටයුතු කරමින් යනවා. මෙතුමන්ලාගේ කාලේ පත් කළා වගේ ජනාධිපතිට, අගමැතිට ගොට්ට අල්ලන පුද්ගලයාව ශ්‍රේෂ්ඨාධිකරණයට දාන ක්‍රමයක් අපේ ආණ්ඩුව තුළ නැහැ.”
වත්මන් රජය අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් සුරක්ෂිත කර ඇති බව පැවසූ ඔහු, විපක්ෂය පදනමක් නොමැතිව කෑගසන බව ප්‍රකාශ කළේය.
“වර්තමානයේ අපි අග්රවිනිශ්චයකාරතුමාටත්, අධිකරණයටත්, ජේ.එස්.සී. (JSC) එකටත් කොච්චර ස්වාධීන වෙන්න කටයුතු කරලා තියෙනවා නම් ඔවුන් නිවැරදි අය තෝරමින් ඒ කටයුත්ත කරනවා. අපි ඒවට මැදිහත් වෙන්න යන්නේ නැහැ. නමුත් මේගොල්ලන්ට පුරුදු වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ කාලේ ඒවා. මේගොල්ලන්ගේ කාලේ ඒවා දැන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තියාගෙන, ඒ හරහා නඩු තීන්දු ගන්න හදනවා කියලා කෑගහනවා. මේක බොන තේ කෝප්පෙ අස්සේ කිඹුල්ලු දකින විපක්ෂයක්. මොනවා හරි බෙහෙත් ටිකක් බොන්න ඕන කට්ටියක් කියලයි මං නම් කියන්නේ.”
“සෙංකෝලේ ගිල්ලත් නඩු අහන වේගය අඩු වෙන්නේ නෑ”
විපක්ෂය මෙලෙස කලබලයට පත්ව ඇත්තේ වර්තමානයේ විමර්ශන සහ නඩු විභාග කටයුතු ඉතා වේගවත්ව සිදුවීම නිසා බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
“දැන් මෙතන වෙන්නේ මොකුත් නෙමෙයි, ඉස්සර කාලේ නැති විදිහට දැන් විමර්ශන වේගවත් වෙලා තිබෙනවා. ගිය වසරට වඩා වේගයෙන් නඩු අහන එක වැඩිවෙලා තියෙනවා. ඒ වගේම එන නඩු තීන්දු මොනවාද කියන එකත් ජනතාව දන්නවා, ඒගොල්ලන්ටත් වඩා මේගොල්ලෝ දන්නවා එන තීන්දු. ඒගොල්ලෝ ඒ යථාර්ථය දැකලා තියෙනවා.
දැන් මේ භීතියෙන් සලිත වෙලා කෑගහන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න නෙමෙයි. පුළුවන් නම් මේවා නවත්තගන්නේ කොහොමද කියලා බලන්න කරන්න පුළුවන් හැම දේම කරනවා. අපි දැක්කා අද පාර්ලිමේන්තුව තුළ, අපි වෙනස් කරන්න හදන, වසර ගණනාවක් පරණ වුණත් වෙනස් වෙන්න නැති පාදඩ දේශපාලන සංස්කෘතිය. එය මේ විපක්ෂය දැනටමත් නියෝජනය කරනවා. අද සෙංකෝලය උස්සගෙන දුවන්න හදනවා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි, සෙංකෝලේ උස්සගෙන ගියා නෙමෙයි, සෙංකෝලේ ඕගොල්ලෝ ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නෙත් නැහැ, තීන්දු දෙන වේගය අඩුවෙන්නෙත් නැහැ.”
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ සාකච්ඡාව
විපක්ෂය මතු කරන අනෙක් කරුණ වන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා සභාව හමුවේ පැහැදිලි කිරීමක් කළේය.
“දෙවනුව ඒගොල්ලෝ කියන්නෙ දන්න කාරණාව, අපි විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න සාකච්ඡාවක් තිබෙනවා. ඔව්, තිබෙනවා සාකච්ඡාවක් තිබෙනවා, නැතුවා නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අදහස් එවලා තියෙනවා නොයෙකුත් සංවිධාන, ලංකාවේ නීතිඥ සංගමය. ඒ වගේම පර්යේෂකයන් විසින් විද්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙන කරුණු, ආයු අපේක්ෂාව පිළිබඳ කරුණු, අපිට තිබෙනවා. ඒ වගේම ඒකට විරුද්ධව වෙන කරුණුත් තිබෙනවා.
එහෙනම් ප්රජාතන්ත්රවාදී දේශපාලන කරන ආණ්ඩුවක ක්‍රමය වෙන්න ඕන මොකක්ද? මේ සියලුම දේවල්වලට සවන් දීලා වඩාත් සුදුසු තීන්දුව ගන්න එක. ඒ දේ අපි කරනවා. ඒ වගේම මහජනතාව අපිට දීලා තියෙනවා වරමක්. අන්න ඒ වරමට තමයි අපි නිතරම ගරු කරන්නේ. ඉතින් ඒ නිසා මොවුන් මේ දක්වන්නා වූ කරුණු හුදෙක් මනඃකල්පිත ලෝකවල ඉඳගෙන නඩුවලට තියෙන බයට කියන විකාර දෙඩවිලි. මේ කියන කිසිම දේකට පදනමක් නැහැ.”
“ව්‍යවස්ථා සංශෝධන ඇඳන් යට ඉඳන් කරන්න බෑ”
විපක්ෂ නායකවරයා එල්ල කළ චෝදනාවලට ද පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඕනෑම සංශෝධනයක් විනිවිදභාවයකින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසීය.
“අද උදේ විපක්ෂ නායකතුමාත් සඳහන් කළා මේක කොළේ වහන්න හදනවා, ජනතාවට වසන් කරනවා, ජනතාවට කියන්නේ නැහැ කියලා. ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් කරන්න වෙන්නේ ගරු සභාපතිතුමියනි, මේ පාර්ලිමේන්තුව තුළ හැමෝටම පේන්න. ඇඳක් යටට වෙලා ඒක කරන්න බැහැ.
ඉතින් ඒක නිසා මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, අපි කරන කියන දේවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්, ඔබලාට අදහස් දක්වන්නට පුළුවන්. හැබැයි අපි හැමවිටම තීන්දු ගන්නේ හොරුන්ව බේරලා ආරක්ෂා කරන්න නෙමෙයි. අපි ජනතාවට පොරොන්දුවක් තියෙනවා, මොකක්ද? නඩු අහන එක වේගවත් කරන්නට ඕන, කාර්යක්ෂම වෙන්නට ඕන, ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙන්නට ඕන.
මෙච්චර කාලයක් වෙච්ච නැති දේ දැන් වෙනවා. අන්න ඒක නවත්තගන්න තමයි මේ සමහර සුන්බුන් විපක්ෂයේ කල්ලියේ වේදනාව කෙඳිරිය කියලා මට කියන්නට ඕනෑ.
මේ දක්වපු කරුණු සමස්තයක් වශයෙන් මම කියන්නේ, විශ්‍රාම වයස දීර්ඝ කරනවාද විනිශ්චයකාරතුමන්ලාගේ? ඔව්, ඒ සාකච්ඡාව තිබෙනවා. අවසාන තීන්දුවක් අරගෙන අපි ඒක කටයුතු කරන්නම්, දැනුම් දෙන්නම්. ඒ වගේම මේක තනි විනිශ්චයකාරයෙක්ගේ දීර්ඝ කරන්න හදනවා නෙමෙයි, සමස්ත අධිකරණ ප්‍රජාවගේම.
ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට කැමති දෙයක් ඒගොල්ලන්ට කියන්න පුළුවනි. නමුත් අපි ඒක අවශ්‍ය අවස්ථාවේදී සුදුසු දේ අපි පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියන්නම්. ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය රකින එක තරම් මේ ආණ්ඩුවට ප්‍රමුඛතම කාර්යයක් තවත් නැහැ. ඉතින් ඒක නිසා මං මේ අවසන් කරන්නම් මෙහෙම කියලා, බය සාධාරණයි, කේන්තිය සාධාරණයි, නමුත් අපි මිනිස්සුන්ට දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. කාත් එක්කවත් පෞද්ගලික තරහවක් නැහැ.”







