ජානක ලියනආරච්චි –
ඉදිරි කාලසීමාව තුළ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා නොමැති වී යෑමේ දැඩි සහ බරපතළ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විදග්ධ මූලාශ්‍ර අනාවරණය කරයි.
නිශ්චිත අනාගත සැලසුමකින් තොරව, වෛද්‍යවරුන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර ඇති පුරප්පාඩු සංඛ්‍යාව ද ඉක්මවා යමින් වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීම සහ වත්මන් අවශ්‍යතාවයට සරිලන පරිදි අනුමතිය ලබා දිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් යාවත්කාලීන විගණනයක් (Carder Revision) සිදු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය උද්ගත වනු ඇතැයි එම මූලාශ්‍ර පුරෝකථනය කරයි.
ඉදිරි වසර දෙකේ බිහිවන වෛද්‍යවරුන්ගේ දත්ත මෙන්න:
ලබාදී ඇති නිල දත්ත වාර්තාවලට අනුව ඉදිරි වසර දෙක ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් වීමට නියමිත වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාලේඛන මෙසේය.
- 2016 ප්‍රථම වාර කණ්ඩායම (Proper Batch) : 1,476
- 2016 නැවත පෙනී සිටින කණ්ඩායම (Repeat Batch): 545
- 2017 ප්‍රථම වාර කණ්ඩායම (Proper Batch) : 1,614
- 2017 නැවත පෙනී සිටින කණ්ඩායම( Repeat Batch): 290
- 2018 ප්‍රථම වාර කණ්ඩායම (Proper Batch): 1,790
- 2018 නැවත පෙනී සිටින කණ්ඩායම (Repeat Batch): 288කට අධික
රැකියා අපේක්ෂාවෙන් සිටින සමස්ත උපාධිධාරීන් සංඛ්‍යාව: 5,351කට අධිකයි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරි වසර දෙක ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් වෛද්‍ය රැකියා පුරප්පාඩු 5,351කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ යුතුව ඇත. එනම්, ඉදිරි වසර දෙක තුළ වාර්ෂිකව වෛද්‍යවරුන් 2,675කට අධික පිරිසකට පත්වීම් ලබා දීමට රජයට සිදු වේ.
අර්බුදයට හේතුව සහ වත්මන් තත්ත්වය:
විදග්ධ මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි වත්මන් සෞඛ්‍ය පද්ධතිය තුළ විශ්‍රාම ගැන්වීම් සහ වෛද්‍යවරුන් විදේශගත වීම් හේතුවෙන් පවතින්නේ පුරප්පාඩු 1,000ක් වැනි සීමිත සංඛ්‍යාවකි. මීට අමතරව ‘ආරෝග්‍යා’ (AROGYA) වැඩසටහන හරහා තවත් නව පුරප්පාඩු 1,000ක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතින මුත්, එය ද සමස්ත අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවේ.
මෙම බඳවා ගැනීම් සඳහා මෙතෙක් කිසිදු කාර්ය මණ්ඩල සංශෝධනයක් (Carder Revision) සිදු කර නොමැති අතර, මහා භාණ්ඩාගාරයෙන් හෝ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා මෙතෙක් නිසි අනුමැතියක් ද ලැබී නොමැත. මෙම සැලසුම් රහිත ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි 2032 වර්ෂය වන විට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය උපරිම සීමාවට පැමිණ (Saturated) වෛද්‍යවරුන් අතිරික්තයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි වනු ඇත.
අර්බුදයෙන් මිදීමට ඉදිරිපත් කරන යෝජනා:
මෙම දැඩි රැකියා අර්බුදය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් කඩිනම් විසඳුම් 4ක් යෝජනා කරනු ලබයි.
- දේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ ධාරිතාව (Intake) සීමා කිරීම.
- අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීම.
- වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙරට සිසුන් විදේශීය වෛද්‍ය විශ්වවිද්‍යාල වෙත යොමු කිරීම නැවැත්වීම.
- අතිකාල දීමනා සහ අමතර සේවා මුර (Extra Duty) අවම කරමින්, මුර ක්‍රමයට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් (Shift Recruitment) හඳුන්වා දීම.
- මේ වනවිට විදේශ වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණ රටේ සෞඛ්‍ය සේවයට එක්වන වෛද්‍යවරුන් ගණන 300කට ආසන්නය. මෙතෙක් Act -16 පර්යේෂනයෙන් අනතුරුව ඔවුහු ගැටලුවකින් තොරව ඔවුහු රජයේ වෛද්‍ය සේවාවට බඳවා ගනු ලැබූහ. මේ වනවිට විදේශ වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමු කිරීමට සුදුකම ජීව විද්‍යා අංශයෙන් සම්මාන 2ක් සහ එක් සාමාන්‍ය සාමාර්ථයකි. මේ සුදුසුකම අධි සම්මාන ( බී ) තුනක් දක්වා ඉහළ දැමීමෙන් ප්‍රමිතිගත විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් බිහිවෙනවා පමණක් නොව, යම් සීමාවකට ද යටත් කර ගත හැකිය.
ඉන්දියාවේ මෙන් දුම්රිය ස්ථානවලට ගොස් රෝගීන් බලහත්කාරයෙන් අල්ලාගෙන ප්‍රතිකාර කරන මට්ටමට අපේ රටේ ගෞරවනීය වෛද්‍ය වෘත්තිය පත්විය යුතු නැත. එය පැවතීගෙන පැමිණි ගෞරවණීය සමාජ සංස්කෘතික ඉතිහාසයක් තිබේ. වෛද්‍ය වෘත්තිකයෙකුට ලැබෙන සමාජ පිළිගැනීම ආකාස්මිකව පහළ වූවක් හෝ නිර්මාණය කරගත්තක් නොව, සංස්කෘතික ඉතිහාසයේ ප්‍රකාශනයකි. ගමේ වෙද මහත්තයා අප පුංචි සන්දියේදීත් ගමේ හිටිය ප්‍රභූවරුන් කීප දෙනාගෙන් කෙනෙකි. රෝගී සත්කාරය සම්බන්ධව සංස්කෘයෙන් පැමිණි ගෞරවයක දිගුවක් වෛද්‍ය වෘත්තිකයින්ට ලැබෙන්නේ ඓතිහාසික කාරණාවක් ලෙසය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි කූටාලි දේශපාලන ගොබ්බයින් විසින් විනාශ කරනු ලැබුවේ ඒ සංස්කෘතික පදනමය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංගම් පවත්වාගත යුත්තේ තුට්ටු දෙකේ බත් බැලකම් සහිත දේශපාලනය කරන්නට නොව මෙවැනි අවස්ථාවක වෘත්තීය මැදිහත්වීමක් කර රාජ්‍යය ලෙස ආණ්ඩුවක් සමග ගනුදෙනු කිරීමටය. එය සිදුවන්නේ නැත.
විදේශගත කර අධ්‍යාපනය ලබා දීම සඳහා එක් දරුවෙක් වෙනුවෙන් දෙමව්පියෝ රුපියල් ලක්ෂ දෙසීයකට අධික මුදලක් වැය කරති. වාර්ෂිකව විදේශ අධ්‍යාපනය ලබා රජයේ වෛද්‍ය සේවයට එක්වන වෛද්‍ය වෘත්තිකයෝ පිරිසක් වෙති. මේ ගණනයේ දී ඔවුන්ව ගණන් බලාම නැත. අඩුම තරමින් මේ පවතින අවදානම එම දරුවන්ට සහ දරුවන්ගේ දෙමව්පියන්ට වටහා දිය යුතුය. රාජ්‍ය ලෙස හෝ ආණ්ඩුවක් ලෙස එය සිදුවන්නේත් නැත.
මේ අවදානම් යථාර්ථය සෞඛ්‍ය ඇමතිවරයා දන්නා බව දනිමු. එහෙත් ඔහු මේ ප්‍රශ්නය දෙස බලනු ඇත්තේ දේශපාලන කෝණයකිනි. විසඳීම සඳහා ගත යුතු ප්‍රායෝගික යෙදවුම් අතිශය සංවේදී සහ බිහිසුණු ප්‍රතිරෝධයන්ට පාදක විය හැකි බැවින් එය කිසිසේත්ම රජයේ දේශපාලන සෞඛ්‍යයට යහපතක් වන්නේ නැත. ඔවුන් බලය ගත්තේ දැන් උද්ගතව ඇති ප්‍රායෝගික තත්ත්වයට පිළියම් සොයනන්ට ගොස් ගත යුතු තීරණවලට වඩා අතිශයින් වෙනස් චිත්‍රයක් සමාජය තුළ මවමිනි. ඒ තත්ත්වය තුළ ප්‍රශ්නය හැකිතාක් සඟවා තබා ගැනීමට රජය කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත් රට තුළ වෛද්‍ය වෘත්තිකයින් බෙදී යෑමේ ස්වරූපය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇති කිරීම දේශපාලන ගණනයකින් ප්‍රමාද වන්නේ නම් එය නැවත වරක් දේශපාලන බෝම්බයක් වී පිපිරී යෑමේ අවදානමට මුහුණ දීමට රජයට නියතවම සිදුවන ඇත.








