මනම්පිටිය නිමල් ජයරත්න –
වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ යල මහ දෙකන්නයේ වී වගා කරන ලද කුඹුරු බිම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් පෞද්ගලික වැලි සමාගමකට ලබාදීම හේතුවෙන් මෙවර යල කන්නයේ වී වගාව අතහැර දැමීමට සිදුව ඇතැයි මහවැලි බී කලාපයේ අරලගංවිල, බමුණාකොටුව ප්‍රදේශයේ වී ගොවීහු පවසති.
මේ හේතුවෙන් පවුල් හතළිහකට අයත් සාමාජිකයින් 300කට අධික පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. අදාළ පෞද්ගලික වැලි සමාගම මේ වනවිටත් එහි වැඩ ආරම්භ කර ඇති අතර, වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ තමන් වගා කළ පොල් ගස් 200ක් පමණ මෙයින් විනාශ වන බව ද ගොවීහු පෙන්වා දෙති.
වසර 40ක් තිස්සේ තමන් දරු පවුල් නඩත්තු කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කළේ මෙම කුඹුරු වගාවෙන් බවත්, තමන්ට වෙනත් කිසිදු ප්‍රදේශයක කුඹුරු ඉඩම් හෝ වෙනත් ආදායම් මාර්ග නොමැති බවත් ඔවුහු පවසති. රජයේ අස්වැසුම ඇතුළු කිසිදු සහනාධාරයක් ද තමන්ට නොලැබෙන බැවින්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වසර හතළිහකට ආසන්න කාලයක් වගා කළ කුඹුරු බිම් තමන්ටම ලබාදීමට කටයුතු කරන ලෙස බමුණාකොටුව සහ ජයමුතුගම වී ගොවීහු බලධාරීන්ගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටිති.

වැව ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් අක්කර 45කට වැඩි භූමි ප්‍රමාණයක, වැව් රක්ෂිතයේ පස් කියුබ් ලක්ෂ දෙකක් ඉවත් කර වැලි ලබා ගැනීමට එම පෞද්ගලික සමාගමට අවසර ලබා දී ඇති බව ගොවීන්ගේ චෝදනාවය. වසර ගණනාවක් තිස්සේ අස්වද්දන ලද කුඹුරු බිම්වල විශාල නියරවල් මේ වනවිට ජේ.සී.බී. යන්ත්‍ර යොදා විනාශ කරමින් පවතින බවත්, එම සමාගම කුඹුරු බිම්වලට ඇතුළු වීම තහනම් කරමින් දැන්වීම් පවා ප්‍රදේශයේ ගස්වල අලවා ඇති බවත් ඔවුහු පවසති. මෙමඟින් තමන්ගේ ආර්ථිකය හා ජීවත්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ඇහිරී යන බව ගොවීහු වැඩිදුරටත් අවධාරණය කරති.
ගොවීන්ගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාස කළමනාකාර කසුන් මදුසංකගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වැවේ ජල ධාරිතාව රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් ටෙන්ඩර් පටිපාටියකට අනුව වැව පිළිසකර කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවය.
වැව් රක්ෂිතයේ වී වගා කරන මෙම ගොවීන්ට වෙනත් ප්‍රදේශවල ද කුඹුරු බිම් පවතින බව ප්‍රකාශ කළ කොට්ඨාස කළමනාකාරවරයා, මෙම වැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ ගොවි සංවිධානයේ ඉල්ලීමකට අනුව සියලු ගොවීන් කැඳවා කොන්ත්‍රාත්කරු සමඟ සාකච්ඡා කර ලබාගත් එකඟතාවයකින් පසුව බව ද සඳහන් කළේය.








