දුම්රිය නියාමකවරුන් විසින් හෙට (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව හෙට දිනයේ මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර මගී ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් පහසුකම් සලසා ගත හැකි බව එම සංගමය පවසයි.
දුම්රිය ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින්, දෙපාර්තමේන්තු රෙගුලාසි නොසලකා හරිමින් දුම්රිය දොඹකර රථ ධාවනය කිරීමට එරෙහිව සහ ඊට නියෝග නිකුත් කළ බලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ප්‍රකාශයට පත් කර තිබුණි.
සංගමයේ ලේකම් රුක්මල් බංඩාර ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම් බලධාරීන් නොසලකා හැරීම නිසා හෙට උදෑසන සිට සේවා ස්ථාන වෙත වාර්තා කිරීමෙන් වැළකී සිටීමට මීට පෙර තීරණය කර තිබූ බවය.
කෙසේ වෙතත්, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඇති වූ එකඟතාවයක් මත මෙම වර්ජනය අත්හිටුවීමට පියවර ගෙන ඇත. එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදීමට එකඟතාවය පළ වී තිබේ.
මෙම එකඟතාවය මත මගී දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කළ ද, දුම්රිය නියාමකවරුන් බඩු ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇති බව ද දුම්රිය නියාමකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.







