දිනසේන රතුගමගේ –
යාපනය අර්ධද්වීපය තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ පීඩාවට පත්ව සිටින රියදුරන් ඉන් මුදාගැනීම සඳහා නල්ලූර් ප්‍රාදේශීය සභාව සුවිශේෂී පියවරක් ගෙන තිබේ.
ඒ අනුව යාපනය නගරයේ ප්‍රධාන මංසන්ධිවල විදුලි සංඥා පද්ධති අසල මාර්ගය ඉහළින් විශේෂ ආවරණ සවි කිරීමට එම සභාව කටයුතු කර ඇත.
විදුලි සංඥා පද්ධති අසල රතු සංඥා දැල්වී ඇති අවස්ථාවලදී රියදුරන්ට නැවත ගමන් ආරම්භ කිරීම සඳහා කොළ පැහැති සංඥාව ලැබෙන තෙක් සෑහෙන වේලාවක් අධික අව් රශ්මියේ රැඳී සිටීමට සිදුවේ. විශේෂයෙන්ම යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ පාපැදිවලින් ගමන් කරන ජනතාව මෙම තත්ත්වය තුළ දැඩි අපහසුතාවයකට පත්වන බව නිරීක්ෂණය කළ නල්ලූර් ප්‍රාදේශීය සභාව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
පොලිතින් සහ ගෝනි යොදාගනිමින් සකස් කරන ලද මෙම ආවරණ මගින් රියදුරන්ට ආරක්ෂිතව සහ සිසිලසින් යුතුව සංඥා ලැබෙන තෙක් රැඳී සිටීමට අවස්ථාව සැලසේ. යාපනයේ උණුසුම දිනෙන් දින ඉහළ යන බැවින් ඉදිරියේදී මෙවැනි ආවරණ සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.
නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සභාපති පී. මයුරන් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සභාවේ අනුමැතිය ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ප්‍රදේශයේ ස්වේච්ඡා තරුණ කණ්ඩායම් කිහිපයක් ද සිය දායකත්වය ලබා දී තිබේ.







