උපෙක්ෂා උඩුවැරැල්ල –
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පැතිරෙන ඉබෝලා වෛරසය අසල්වැසි උගන්ඩාවටද පැතිර යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය අද (17) ‘ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් විසින් අද දින මෙම තත්ත්වය නිල වශයෙන් දැනුම් දුන්නේය.
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතෙන් වාර්තා වී ඇති මාරාන්තික ඉබෝලාවෛරසයේ ව්‍යාප්තියත් සමග දැනට පුද්ගලයන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කිරීමත් එම වෛරසයේ ආසාදිතයෙක් අසල්වැසි උගන්ඩාවේ කම්පාලා නුවරදී මිය යෑමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මෙවර ව්‍යාප්ත වන්නේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නමැති ඉබෝලාවෛරස් ප්‍රභේදයයි. විද්‍යාඥයන් පවසන්නේ දැනට පවතින ඉබෝලාඑන්නත් සහ ප්‍රතිකාර නිපදවා ඇත්තේ වෙනත් ප්‍රභේදයකට (Zaire strain) බැවින්, මෙම නව ප්‍රභේදය පාලනය කිරීම සංකීර්ණ විය හැකි බවය. එනම් කිසිම ප්‍රතිකාර විධියක් නැති බවය. දැනට වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 246 දෙනෙකු කොංගෝවෙන් හඳුනාගෙන ඇතැයි රොයිටර් වාර්තා සඳහන් කරයි.

මුල්ම රෝගියා –
මෙම ව්‍යාප්තියේ ආරම්භක රෝගියා ලෙස සැකකෙරෙන්නේ උණ, ලේ ගැලීම සහ වමනය වැනි රෝග ලක්ෂණ පෙන්වමින් බුනියා (Bunia) නගරයේ රෝහලකදී මියගිය හෙදියකි.
තත්ත්වය පාලනය කිරීම සඳහා කොංගෝ රජය වහාම හදිසි සෞඛ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, රෝගීන් සොයා පරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ.
අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය (Africa CDC) පවසන්නේ අදාළ ප්‍රදේශවල පවතින පතල් කැණීම් කටයුතු සහ අධික ජනගහන සංචලනය හේතුවෙන් වෛරසය වේගයෙන් පැතිරීමේ අවදානමක් පවතින බවය.
එමෙන්ම දැනට වෛරසය පැතිර යන ඉටුරි ප්‍රදේශයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථාන අඩපණ වී තිබීම සහ අවතැන් කඳවුරුවල පවතින දුර්වල සනීපාරක්ෂාව මෙම ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි බාධාවක් වී ඇති බව ‘දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය’ (MSF) පවසයි.
මේ පසුබිම තුළ වෙනත් රටවලට දේශ සීමා හරහා වෛරයස ව්‍යාප්ත වීම වැලැක්විමට අසල්වැසි උගන්ඩාව සහ දකුණු සුඩානය සමඟ එක්ව කොංගෝව දේශසීමා ආරක්ෂිත පියවර ශක්තිමත් කිරීමට සාකච්ඡා කැඳවා ඇති අයුරු ඒජන්සි වාර්තා දක්වයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ රසායනාගාර පරීක්ෂණ මඟින් මේ වන විට නිල වශයෙන් ආසාදිතයන් 13 දෙනෙකු තහවුරු කර ඇති බවය. හදිසි සහන කටයුතු වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් වෙන් කර ඇත.
ඉබෝලාවෛරසය යනු කුමක්ද? එය ව්‍යාප්ත වන්නේ කෙසේද?
ඉබෝලා(EVD) යනු සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සහ ඉන්පසු මිනිසුන්ගෙන් මිනිසුන්ට ඉතා වේගයෙන් බෝ විය හැකි, ‘ඔර්තෝඑබෝලාවෛරස්’ (Orthoebolaviruses) කාණ්ඩයට අයත් අධික මාරාන්තික වෛරස් රෝගයකි. ප්‍රධාන වශයෙන් උප-සහාරා අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන මෙම රෝගය, වෛරසය ශරීරගත වී දින 2ත් 21ත් අතර කාලයකදී (සාමාන්‍යයෙන් දින 8-10ක් ඇතුළත) ශරීරයෙන් පිටතට ලක්ෂණ පෙන්වීමට පටන් ගනී.
රෝග ලක්ෂණ හඳුනාගැනීම
මෙම රෝගයේ විශේෂත්වය වන්නේ එය අදියර දෙකක් යටතේ රෝග ලක්ෂණ පෙන්වීමය.
- ප්‍රාථමික වියළි ලක්ෂණ (Dry Symptoms): රෝගයේ මුල් අවස්ථාවේදී සාමාන්‍ය උණ රෝගයක මෙන් තද උණ, හිසරදය, සන්ධි සහ පේෂිවල දැඩි වේදනාව, අධික විඩාව මෙන්ම උගුර බැරෑන්ඩි වීම වැනි ලක්ෂණ මතු වේ.
- ද්විතීයික තෙත් ලක්ෂණ (Wet Symptoms): රෝගය උත්සන්න වන විට වමනය, දරුණු ලෙස පාචනය වැළඳීම, බඩේ කැක්කුම, සමේ පළු දැමීම, ඇස් රතු වීම සහ ශ්වසන අපහසුතා ඇති වේ. ශරීරයේ අක්මාව සහ වකුගඩු වැනි අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයන් අක්‍රිය වන අතර, රෝගයේ දරුණුතම අවස්ථාවේදී මුඛය, නාසය, ඇස් ඇතුළු ශරීරයේ විවිධ ස්ථානවලින් අභ්‍යන්තර සහ බාහිර ලේ ගැලීම් සිදු වේ. මේ හේතුවෙන් මෙය ‘රක්තපාත උණ’ (Hemorrhagic fever) තත්ත්වයක් ලෙසද හඳුන්වයි.
පවතින වෛරස් ප්‍රභේදය සහ රෝගියාට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාරවල මට්ටම අනුව මෙහි මරණ අනුපාතය 25% සිට 90% දක්වා ඉහළ අගයක් ගන්නා අතර, සාමාන්‍යයෙන් ආසාදිතයන්ගෙන් 50%ක්ම මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතී.
වෛරසය පැතිරෙන ආකාරය සහ වළක්වා ගැනීම
කොවිඩ්-19 හෝ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ඉබෝලාවෛරසය වාතය මඟින් අන් අයට බෝ නොවේ. එය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකුගේ හෝ සත්ත්වයෙකුගේ ශරීර දියර වර්ග සෘජුව ස්පර්ශ වීමෙනි. ලේ, වමනය, ඛේටය (කෙළ), දහඩිය, මුත්‍රා, මළපහ, ශුක්‍රාණු සහ මව්කිරි මේවාට අයත් වේ.
රෝගය බෝ වන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකටය.
- සතුන්ගෙන් මිනිසුන්ට (Spillover): වෛරසය අසාදනය වූ වවුලන් (Fruit bats) හෝ වඳුරන් වැනි වන සතුන් ඇල්ලීම හෝ ඔවුන්ගේ මස් පරිභෝජනය නිසා මුලින්ම මිනිසෙකුට වෛරසය ආසාදනය වේ.
- මිනිසුන්ගෙන් මිනිසුන්ට: ඉන්පසු රෝගී වූ අයව රැකබලා ගැනීම, මියගිය අයගේ අවමංගල්‍ය උත්සවවලදී දේහයන් ස්පර්ශ කිරීම, රෝගීන්ට භාවිතා කළ කටු (Needles) හෝ ඇඳ ඇතිරිලි හවුලේ භාවිතා කිරීම නිසා සමාජය තුළ වේගයෙන් පැතිර යයි.
යම් පුද්ගලයෙකුට රෝග ලක්ෂණ මතුවන තුරු ඔවුන්ගෙන් අනෙක් අයට වෛරසය බෝ නොවන නමුත්, සුවය ලැබූ පුද්ගලයන්ගේ ශුක්‍රාණු හරහා තවත් කාලයක් යනතුරු වෛරසය බෝවීමේ හැකියාව පවතී.
එබැවින් රෝගීන් වෙන්කර තැබීම (Isolation), ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE) භාවිතය, නිසි සනීපාරක්ෂාව සහ මියයන රෝගීන්ගේ සිරුරු ආරක්ෂිතව භූමදානය කිරීම මඟින් මෙහි ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකිය.
ලංකාවට ඇති විය හැකි බලපෑම
වත්මන් ගෝලීයකරණය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධතා සලකා බැලීමේදී, ශ්‍රී ලංකාවට ද ද්විතීයික වශයෙන් මෙම වෛරසය ඇතුළු වීමේ යම් අවදානමක් පවතී. කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැත. වෛරසයේ ස්වභාවය අනුව ලංකාවට ඇති බලපෑම මෙසේ විශ්ලේෂණය කළ හැකිය.
වෛරසය පැතිරීමේ ප්‍රධාන අවදානම් සාධක කීපයක් තිබේ.
- ජාත්‍යන්තර සංචාරකයින් සහ රැකියා නියුක්තිකයින්: අප්‍රිකානු කලාපයේ, විශේෂයෙන්ම කොංගෝ රාජ්‍යය, උගන්ඩාව වැනි රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හෝ එම රටවල සිට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් (විශේෂයෙන්ම පතල් සහ වෙළඳ ක්ෂේත්‍රවල නිරතවන්නන්) හරහා වෛරසය රට තුළට ඇතුළු වීමේ විභවතාවක් පවතී. දැනටමත් උගන්ඩාවෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී තිබීම නිසා දේශසීමා හරහා රෝගය සංක්‍රමණය වීමේ අවදානම තහවුරු වේෙ
- රෝග ලක්ෂණ රහිතව පැමිණීම: ඉබෝලාවෛරසය ශරීරගත වී රෝග ලක්ෂණ මතු වීමට දින 2 සිට 21 දක්වා කාලයක් ගත වන බැවින්, ආසාදිත පුද්ගලයෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට ඇතුළු වීමේ ඉඩකඩක් පවතී.
අවදානම අවම වීමට ප්‍රධාන හේතු කීපයක් ද බලපානු ලබයි.
- වාතයෙන් බෝ නොවීම: කොවිඩ්-19 හෝ ඉන්ෆ්ලුවෙන්සා මෙන් ඉබෝලාවෛරසය වාතය මඟින් කැස්ස හෝ කිවිසුම් යාමෙන් බෝ නොවේ. එය බෝ වන්නේ ආසාදිතයෙකුගේ ලේ හෝ ශරීර දියර සෘජුව ස්පර්ශ වීමෙන් පමණි. එමෙන්ම, රෝග ලක්ෂණ මතු වන තෙක් ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ නොවේ. මේ නිසා සමාජය පුරා වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව ඉතා අවම වේ.
- පූර්ව සූදානම සහ නිරෝධායන ක්‍රියාවලිය: මීට පෙර අප්‍රිකානු කලාපයේ ඇති වූ ඉබෝලාව්‍යාප්තිවලදී ද ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් තොටුපළ බලධාරීන් විසින් විශේෂ සෞඛ්‍ය ප්‍රකාශන පත්‍රිකා හඳුන්වා දීම, උණ රෝගීන් හඳුනාගැනීමේ තාප ස්කෑනර් (Thermal Scanners) ක්‍රියාත්මක කිරීම සහ සැකකටයුතු රෝගීන් වහාම IDH රෝහල වෙත යොමු කිරීමේ ක්‍රමවේද සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙවරද එවැනි පියවරක් අනුගමනය කිරීමෙන් අවදානම වළක්වා ගත හැකිය.







