සී.ඩී. වික්‍රමරත්න තවත් අප අතර නැත. සිය ආරක්ෂකයාගේ මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු මිය ගොස් තිබේ. අද උදෑසන 7.15ට පමණ සිය ආරක්ෂකයා අමතා වතුර බෝතලයක් රැගෙන එන ලෙස ඔහුට දන්වා ආරක්ෂකයා වතුර බෝතලය රැගෙන එන අතර මේ වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදී ඇති බව කියන්නේ පපු ප්‍රෙද්ශයටය. එක් වෙඩි පහරක් පමණක් වැදී ඇත. හිටපු පොලිස්පතිවරයා මුල්ලේරියාව රෝහල වෙත රැගෙන යන විටත් මිය ගොස්ය. දැන් දේහය මුල්ලේරියාව රෝහලේ ය. මිය යන විට ඔහු 63වැනි වියේ පසුවූයේය. අද උදේ මුල්ලේරියාව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් විජේරත්න සී.ඩී වික්‍රමරත්නගේ තලාහේන නිවසට විත් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ සිදුකළේය.
ඔහු මේ ආකාරයෙන් සමුගනු ඇතැයි කිසිවෙක් විශ්වාස කළේ නැත. ඔහුගේ ජීවිතය දෙස බලන විට මෙවැනි අවසානයක් සිදුවනු ඇතැයි කිසිවෙක් විශ්වාස කළේත් නැත. එහෙත් ඔහු මිය ගොස්ය. මේ සිය දිවි නසා ගැනීම ප්‍රහේළිකාවක් උපදවා තිබේ. කිසිවක් කියන්නට තව කල් මදිය. ඔහු පොලිස්පති ධූරයේ වැඩ භාරගන්නා අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගයාන් කුමාර වීරසිංහ ඔහුගේ රාජකාරි ජීවිතයේ ඉතිහාසය ගැන ලියා තැබුවේය. මේ එම ලිපියේ ආවර්ජනයකි.
ශ්‍රී ලංකා පොලීසියේ 35 වෙනි පොලිස්පතිවරයා වූයේ චන්දන වික්‍රමරත්නයෙ. ඔහු එම පත්වීම ලබන්නේ ගෝඨාභයර රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා වූ අවධියේය. ඔහු පොලිස්පතිවරයා වීමට පෙර අපේ පොලිස් ඉතිහාසයේ දීරඝ කාලයක් තිස්සේ වැඩ බැලූ පොලිස්පතිවරයා වූයේය. එම කාලය අවුරුදු එක හමාරක් ඉක්මවා ගියේය.
වාර්තා රැසක් තැබූ වැඩබලන කාලසීමාව – පාස්කු ප්‍රහාරය එල්ලවීම සම්බන්දයෙන් 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමත් සමග වසරකුත් මාස හතක කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු පොලීසිය කිසිදු අර්බුදයකට ලක්නොවන ආකාරයට කරගෙන යාමෙනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙතරම් දීර්ඝ කාලයක් වැඩ බලන පොලිස්පතිධුරය කිසිදු නිලධාරියෙක් හොබවා නැත. එබැවින් චන්දන වික්‍රමරත්න ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙකි.
එසේම පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාව සිටියදී ඔහු රෝගී ව රෝහල්ගතව සිටි සහ විදෙස් සංචාරයන්වල නිරතව සිටියදී පොලිස්පති ධුරයේ වැඩ බලන්නට පත්කරනු ලැබුවේද චන්දන වික්‍රමරත්නය. එසේ ඔහු වැඩ බලන පොලිස්පතිධුරය හොබවා ඇති වාර ගණනද 13 කි. එයද වාර්තාවකි. එනම් මෙතරම් අවස්ථා ගණනක් එකම නිලධාරියෙක් පොලිස්පති ධුරයේ වැඩ බලා නැති බැවිනි.
බුද්ධි අංශයෙන් බිහිවූ ප්‍රථම පොලිස්පතිවරයා චන්දන වික්‍රමරත්න පොලිස් සේවයට එක්වන්නේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශයේ නිලධාරියෙක් පොලිස්පති ධුරයට මෙතෙක් පත්ව නැත. ඒ අවස්ථාවද හිමිව ඇත්තේ චන්ද වික්‍රමරත්නටමය.
මාධ්‍ය සංදර්ශනවලින් තොර නිහඬ චරිතය චන්දන වික්‍රමරත්න නිහඩ චරිතයකි. ඔහු මාධ්‍ය සංදර්ශන දැක්වූයේ නැත. වසර තිහකට අධික පොලිස් ජීවිතය තුළ ඔහු මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්තේද අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පවා ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත්තේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහාය. ඒ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමගිනි. ඒ ඔහු වැඩ කළ හැටිය.
කොටකෙතන අභිරහස විසඳූ දක්ෂතාවය එහෙත් ඔහු සැබෑ දක්ෂයෙක් විය. හොදම උදාහරණය කහවත්ත කොටකෙතන ග්‍රාමයේ සිදුවුණු කාන්තා ඝාතන රැල්ල විසඳූ අයුරුය. එකල ඔහු සේවයේ නිරතව සිටියේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. 2008 වසරේ ජූලි 21 වෙනිදා 56 හැවිරිදි සෙල්ලයියා මාරියාගේ ඝාතනයෙන් ඇරඹි කොටකෙතන කාන්තා ඝාතන රැල්ල දකුණේ සිට අධ්‍යනය කළ චන්දන වික්‍රමරත්න එය දාම ඝාතකයෙකුගේ වැඩක් බව ඇස්තමේන්තු කළේය. එහෙත් එකල සිටි ඉහළ පොලිස් නිලධාරීන් පිළිගන්නට කැමැත්තක් නොදැක්වූයේ විදේශයන්වල මෙන් අපේ රටේ දාම ඝාතකයින් නොමැති බව සදහන් කරමිනි. ඒ අනුව විටෙන් විට කාන්තා ඝාතකයින් බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තරගයට විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා විට චන්දන වික්‍රමරත්න කළේ ඒ ගැන අධ්‍යයනය කිරීමය.
අවසානයේදී කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මැඩලීමේ කටයුත්ත පැවරෙන්නේද චන්දන වික්‍රමරත්නටමය. ඒ 2015 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා කොටකෙතන ඕපාතවත්තේ දී නාගන් පාප්පු නැමැති කාන්තාවගේ අභිරහස් මරණයත් සමගිනි. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පොලිස් ස්ථාන කිහිපයකින් තෝරාගත් නිලධාරීන් කිහිප දෙනෙක්ද යොදවා සකස් කළ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයවමින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කොටකෙතන කාන්තා ඝාතනයේ සැබෑ අපරාධකරු නීල් ලක්ෂ්මන් නැමැත්තාව අත්අඩංගුවට ගත්තේය. ඒ 2015 වසරේ දෙසැම්බර් 11 වෙනිදාය. ඒ වන විට කොටකෙතනේ සිදුව තිබුණු කාන්තා ඝාතන ගණන 19 කි. එම ඝාතන අතරින් ඝාතන 15කටම වගකිව යුත්තා බවට සාක්ෂි සහිතව හදුනා ගන්නේ මෙම සැකකරුවය. ඔහු විසින් කරන්නට සූදානම්ව සිටි තවත් කාන්තා ඝාතන රැසකම තොරතුරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණු අතර ඒ සියල්ලක්ම වැළකෙන්නේ චන්දන වික්‍රමරත්නගේ සියුම් විමර්ශන මෙහෙයවීම් නිසාය. කොටකෙතන ජනතාව අද බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නේ ද එබැවිනි.
යුද සමයේ සහ ඉන් පසු ඉටුකළ මෙහෙවර චන්දන වික්‍රමරත්න මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශනවලින් තොරව කළ වැඩ ගොන්නකි. යුද සමයේදී ඔහුගේ දායකත්වය යුද්ධය නිමා කිරීමට ලැබෙන්නේ යාපනයේ සිටය. 2005 වසරේ සිට 2007 වසර දක්වාම ඔහු යාපනයේ සිට කළ සේවය අති මහත්ය. එසේම යුද්ධය නිමවීමත් සමග ඔහු පදවියේ සිට එකල මායිම් ගම්මාන ලෙස සැලකූ උතුරට මායිම්ව පිහිටි උතුරුමැද පළාතේ ගම්මාන නගා සිටුවීමට පවා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඒ සියල්ලක්ම ඔහු කළේ නිහඩවය.
ළමා කාලය සහ පාසල් අධ්‍යාපනය චන්දන වික්‍රමරත්න මෙලොව එළිය දකින්නේ 1963 වසරේ මාර්තු 26 වෙනිදාය. ඒ කොළඹදීය. පියා සමාගම් කළමනාකරුවෙකි. සාමාන්‍ය පවුලක උපන් වික්‍රමරත්නගේ මව ගෘහණියකි. චන්දන වික්‍රමරත්න මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයෙනි. හතරවැනි පංතිය දක්වා අධ්‍යාපනය ලබන ඔහු අනතුරුව ඇතුළත් වන්නේ මහනාම විද්‍යාලයටය. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මහනාම විද්‍යාලයේදී මුහුණ දෙන චන්දන වික්‍රමරත්න ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් හයවැනි ශ්‍රේණියට ඇතුළත් වන්නේ කොළඹ ආනන්දයටය. එකල රගර් ක්‍රීඩාවට ඇළුම් කරන්නට වූ බැවින් ආනන්දයේ රගර් කණ්ඩායමද නියෝජනය කරන්නට ඔහුට හැකි විය.
විශ්වවිද්‍යාල ජීවිතය සහ පොලීසියට ඇතිවූ ඇල්ම ආනන්දයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වන චන්දන වික්‍රමරත්න උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයටය. රගර් ක්‍රීඩාවට අමතරව මල්ලව පොර ක්‍රීඩාවටද ඔහු යොමු වන්නේ විශ්ව විද්‍යාලයේදීය. එකී ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ඔහු වර්ණලාභියෙක්ද වේ.
චන්දන වික්‍රමරත්න පොලිස් සේවයට එක්වන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිටවීමත් සමගිනි. පොලීසිය කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නේ පොලිස් සේවයේ නිරතව සිටි තම සීයාගේ වීර වික්‍රමයන් ගැන සිය මව කුඩා කාලයේ සිට පවසන දෑ ඇසීමෙනි. විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව සිය ආශාව සංසිදුවා ගැනීමට පොලීසියට අයදුම්පතක් ඉදිරිපත් කර මූලික සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තුරු ඔහු නිකරුණේ කාලය ගත කරන්නට ගියේ නැත. පුද්ගලික ආයතනයක කළමනාකරුවෙක් ලෙස සිය හැකියාවන් ප්‍රගුණ කළේය.
තරඟකාරී බඳවාගැනීමේ පරීක්ෂණය එදා පොලිස් සේවයට අයදුම්පත් යොමුකළ චන්දන වික්‍රමරත්න සමග සම්මුඛ පරීක්ෂයට ඉදිරිපත්ව සිටි ගණන 76 දෙනෙකි. එම සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වෙන්නේ අද රාජ්‍ය බුද්ධි සේවය ලෙස හදුන්වන එකල ජාතික රහස් තොරතුරු කාර්යාංශයට නිලධාරීන් බදවා ගන්නටය. එදා ඒ පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගැනෙන්නේ තිදෙනෙක් පමණි. ඒ තිදෙනාගෙන් අවසාන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්නේ චන්දන වික්‍රමරත්න සහ තවත් එක් අයෙක් පමණි. ඒ දෙවැන්නා මේ වන විටත් පොලිස් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දුය. අවසාන සම්මුඛ පරීක්ෂණය මග හරින ලද ඔහු අද ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකි.
පොලිස් සේවයේ මූලික අවධිය අවසානයේදී චන්දන වික්‍රමරත්න පොලිස් සේවයට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බදවා ගැනෙන්නේ 1986 ජුනි 16 වෙනිදා ය. මූලික පොලිස් පුහුණුවෙන් පසු 1987 වසරේ සිට 1995 වසර දක්වා වසර 08ක්ම චන්දන වික්‍රමරත්න සේවය කරනුයේ බුද්ධි අංශයේය. පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු උසස් වීම් ලබන්නේද බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි 1993 වසරේ මාර්තු 02 වැනිදාය.
බුද්ධි අංශ නිලධාරීයෙක් ලෙස සිය මූලික පොලිස් ජීවිතය ගත කළ ඔහුට සිවිල් ජනතාව සමග කටයුතු කරන්නට 1995 වසරේදී අවස්ථාව ලැබෙන්නේ කෑගල්ල පොලිස් කොට්ඨාසයෙනි. වසරක පමණ කාලයක් ඔහු කෑගල්ලේ සේවයේ නිරතව සිට ත්‍රිකුණාමලයේත් කන්තලේත් සේවයේ නිරතව සිටියේය. අනතුරුව 1997 වසරේදී ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නේ පොලිස් මූලස්ථානයටය. ටික කලකට පසුව චන්දන වික්‍රමරත්නට මහනුවරට ස්ථාන මාරුවක් ලැබෙන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ මහනුවර සේවයේ නිරතව සිටි 1998 වසරේ මාර්තු 02 වෙනිදාය.
දිවයින පුරා සේවය කළ නිලධාරියා මහනුවරින් ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නේ මොණරාගලටය. කොට්ඨාස භාර පොලිස්穩ප්‍රධානියා ලෙස 2001 වසර දක්වාම සේවයේ නිරතව සිටි චන්දන වික්‍රමරත්නට නැවතත් පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් ලැබුණේය. මාස කිහිපයකට වඩා ඔහු පොලිස් මූලස්ථානයේ රැදී සිටියේ නැත. මාතරට ස්ථාන මාරුවක් ලැබෙන්නේ කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. 2005 වසර දක්වාම ඔහු කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව ස්ථාන මාරුවක් ලබන්නේ යාපනයටය. 2007 වසර දක්වාම ඔහු යාපනයේ සේවය කළේය. 2004 වසරේ දෙසැම්බර් 09 වෙනිදා පෙරදාතම කරමින් චන්දන වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීම් ලබන්නේද යාපනයේ සිටියදීමය.
යාපනයේ සිට 2007 වසරේදී නුවරළියටත් 2008 වසරේදී පොලිස් මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ඔහුට ලැබුණේය. පදවියට ස්ථාන මාරුවක් ලැබෙන්නේ අනතුරුවය. 2009 වසරේ සිට 2010 දක්වා පදවියේ ඔහු සේවයේ නිරතව සිටියේය. අනතුරුව ත්‍රිකුණාමලයට ස්ථාන මාරුවක් ලබන ඔහු 2011 වසර දක්වාම එහි සේවය කර නැවතත් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත වන්නේ කෙටි කාලයකටය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සහ පරිපාලන අංශය රාජ්‍ය බුද්ධි සේවයට ලද ස්ථාන මාරුවීම සමග 2011 වසර තුළ පමණක් ඔහුට ලැබෙන ස්ථාන මාරුවීම් ගණන 04 කි. ඒ පුත්තලම, යාපනය, උතුරුමැද යන ප්‍රදේශවල පොලිස් ප්‍රධානී තනතුරු සදහාය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබන්නේද ඒ අතරතුරදීය. 2011 මැයි 20 වෙනිදා පෙරදාතම කරමින් 2011 වසරේ අගෝස්තු 01 වෙනිදා උසස් වීම් ලැබීමෙන් පසු චන්දන වික්‍රමරත්න උතුරු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙසත් උතුරුමැද පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසත් 2011 වසරේ සේවය කළේය. 2012 වසරේදී ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නේ සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. එම වසරේදීම නැවතත් ඔහුට ස්ථාන මාරු කෙරෙන්නේ දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. ඔහු 2016 වසර දක්වාම දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ වරින් වර සබරගමුව පළාත් භාරව වැඩ බලන පොලිස් ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරමිනි.
2016 වසරේ පූජිත් ජයසුන්දර ශ්‍රී ලංකා පොලීසියේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු පොලිස් මූලස්ථානයට කැදවමින් චන්දන වික්‍රමරත්නට පවරන්නේ පොලිස් පරිපාලන අංශයයි. පොලිස්පතිවරයාගෙන් පසු පොලීසියේ ඉහළම තනතුර වන්නේ පරිපාලන අංශයේ ප්‍රධානී තනතුරය. පොලිස්පතිධුරය දක්වා ගෙවී ගිය සිව් වසර තුළ චන්දන සේවය කළේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙසිනි.
ඔහු අද අපෙන් සමුගෙනය. ඒ ගැටලු රැසක් අප ඉදිරියේ තබමිනි.







