අසේල කුරුළුවංශ –
ඇල්ල සහ දිගන ප්‍රදේශවල කබානා ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව පවසමින්, ඒ් සඳහා මුදල් ආයෝජනය කළ හැකි බවට ප්‍රසිද්ධ කර පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහ සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කබානා ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 30 ක් සහ ලක්ෂ 20 ක් වශයෙන් මුදල් ආයෝජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් කරන ලද පැමිණිලිවලට අදාළව දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම කබානා ව්‍යාපෘතිය සඳහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් එකතු කර තිබුණද, එවැනි කිසිදු ව්‍යාපෘතියක් භූමියේ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අමිත් වීරසිංහ නමැති අය විසින් ප්‍රසිද්ධ කරන ලද මෙම කබානා ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ආයෝජනය කර ඇති බව පොලිස් පරීක්ෂණ මගින් මේ වන විට අනාවරණය වී තිබේ.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී චන්ද්‍රපාල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







