පේරාදෙණිය සරසවි සිසුවියන් සිටි හිදගල පුද්ගලික නේවාසිකාගාරයේ අද (20) අලුයම ඇතිවූ ගින්න සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පේරාදෙණිය පොලිසිය කියයි.
මෙම නේවාසිකාගාරයේ කාමර දෙකක් තුළ සිසුවියන් 23 දෙනෙක් සිට ඇති බවත් ඉන් එක් කාමරයක් පිහිටා ඇත්තෙ පොළව තුළට වන්නට නිසි වාතාශ්රයකින් තොරව බවත් පොලිසිය පවසයි. මෙවැනි ඉදිකිරිමක් සඳහා අවරස ලැබුනේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ.
ගිනි ගැනීමේ සිද්ධියෙන් සිසුවියන් 05 දෙනෙක් රෝහල්ගත කර තිබිණි. පේරාදෙණිය රෝහලේ අධ්යක්ෂ අර්ජුණ තිලකරත්න කීවේ එම සිසුවියන්ට දුම ආග්‍රහණය වීම නිසා ඇති වූ ශ්වසන ආබාධ තත්ත්වයකින් පමණක් පෙළුන බවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංස පැවසුවේ දහස් ගණනක් සරසවි සිසුන් රැඳී සිටින පුද්ගලික නේවාසිකාගාර නියාමනය කිරීමේ වැඩ පිළිවෙළක් නැති නමුත් සරසවි සිසුන්ට යම් ගැටලුවකට මුහුණ පෑමට සිදුවන සෑම අවස්ථාවකම සරසවිය ලෙස ඉදිරිපත්වන බවය. තමන්ගේ දරුවන්ගේ නේවාසික ස්ථානවල ස්වරූපය සම්බන්ධව සොයා බැලීමේ මූලික වගකීමක් දෙමාපියන් සතුවන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගින්න ඇතිවීමට හේතුව අසල නිවස ඇති රූපලාවන්‍යාගාරයක ඇතිවූ ගින්නක් බවට තොරතුරු දැනට වාර්තා වී ඇත.







