විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ආණ්ඩුවේ යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජනබලවේගය වෙත ලබාදී තිබෙන බවත් ඒ සම්බන්ධ පක්ෂයේ ස්ථාවරය හෙට (27) දැනුම් දෙන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක,පා ර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
අදාළ යෝජනා පිළිබඳව නීතිඥ මඩුල්ලක් මගින් අධ්‍යන්‍යය කරමින් සිටින බවත් පක්ෂය අපේක්ෂා කරන ආකාරයේ සංශෝධන එහි අඩංගු වී තිබේනම් එය සම්මත කිරීමට සහය ලබාදෙන බවත් ඔහු කියයි. මහනුවර වටපුළුවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේවන විට 21 වන ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.සමගි ජන බලවේගයත් යෝජනාවලියක් ඉදිරිපත් කළා. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු ඊට සමානව විසිඑක් වන සංශෝධනයට ඇතුළත්ව තිබෙනවාද කියන කාරණය ගැන අපි විමසිලිමත් වෙනවා. නයින්ටීන් ප්ලස් ලෙස විසිඑක් වන සංශෝධනය ගෙන එන්නේ නම් එහි 19 ට එහා ගිය ප්රජාතන්ත්රවාදී මූලධර්ම ශක්තිමත් කරන යෝජනා ඇතුළත් විය යුතුයි. අපි ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනාවලියේ විධායක ජනපතික්‍රමය අහෝසි කිරීම ගැන කතා කර තිබෙනවා. එම කරුණු ගැනද අවධානය යොමුකර නීතීඥ කණ්ඩායමේ අදහස් ද ලබා ගනිමින් ආණ්ඩුවේ කෙටුම්පත සම්බන්ධයෙන් අපේ ස්ථාවරත්වය දක්වා පිළිතුරු යවනවා.“ ඔහු පැවසුවේය.