කීර්ති ප්‍රනාන්දු –
2022.09.02 2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවිම් හා අනුයුක්ත අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
.2022 අප්‍රේල් මස අයදුම්පත් කැඳ වු ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධව මාරු මණ්ඩලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් ඇති බවත් එම ගුරු මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර ලබාදීමට අපේක්ෂා කෙරෙන බැවින් එතෙක් ගුරු ස්ථාන මාරුවිම් සඳහා නව අයදුම්පත් භාර නොගන්නා බවත් එම නිවේදනයේ දැක්වේ.
මේ වන විට ප්‍රවාහන අපහසුතා මත අනුයුක්ත ලබාගෙන ඇති ගුරුවරුන්ගේ එම අනුයුක්ත 2022 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට යෝජනා වී තිබුණ ද එම ගුරුවරුන්ට එම ලිපිවල සඳහන් දිනය දක්වා අදාළ පාසලේ විදුහල්පතිගේ එකඟතාව ඇත්නම් පමණක් එම අනුයුක්ත පාසලේම සේවය කළ හැකිය.
2022.12.31 දිනෙන් පසුව ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අනුයුක්ත ලිපි නැවත නිකුත් නොකරන බව සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා ඇත. කෙසේ වෙතත් ගර්භණී ගුරිවරියන් වෙත ලබා දෙනු ලබන අනුයුක්ත, වෛද්‍ය වාර්තා මගින් සනාථ වන සෞඛ්‍ය හේතු මත දෙනු ලබන අනුයුක්ත සහ පාසල්වල සේවා අවශ්‍යතා පාදක කර ගනිමින් ලබාදෙන අනුයුක්ත කිරීම් සඳහා ඉහත පරිදි කටයුතු කිරීම අදාළ නොවන අතර එම අනුයුක්ත කිරීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු මාරු) විසින් ලබා දෙනු ඇත.








