ශ්රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ඉහළ තැනකට කණ්ඩායම ඔසවා තබා ඇත. ලකුණු 344කි. එය අපූරුය. කුසල් මෙන්ඩිස් නැවතත් පිටිය වර්ණවත් කළේය. ඔහු ශතකය ලබා ගත්තේ පන්දු 65ක් තුළය. සධීරත් මනරම් ශකතයක් ලැබුවේය. එය අන්තර්ජාතික එක්දින තරගයක දී ඔහු ලබා ගන්නා මංගල ශතකය ය.

අත්දැකීමවලින් බර නිසා කණ්ඩායමට එක් කළ කුසල් ජනිත් මේ තරගයේ දීත් ෆේල්ය. ඔහු ලකුණු නොලබා දැවී යන්නේය. මුහුණ දෙන්නේ පන්දු 03කට පමණි. උරහිසේ ආබාධයෙන් පුහුණු තරගයේ දී ඉවත් වූ අවස්ථාවේ සිට ඔහු ක්රීඩා කරන්නේ මානසික ඒකාග්රතාවයක් රහිත තමන් ගැනම විශ්වාසයක් නැති ක්රීඩකයෙක් ලෙසය.
එහෙත් ශ්රි ලංකා කණ්ඩායම වර්ණවත් පිතිකරණය නිරත වූයේය. කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී යනවිට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 61ක දී හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 51 ලැබුවේය.
මේ තරගයේ ශ්රී ලංකා ඉනිම අතිශයින්ම වර්ණ ගැන්වූ ක්රීඩකයා යළිත් කුසල් මෙන්ඩිස්ය. ඔහු පන්දු 77ක් තුළ හතරේ පහර 14ක් සහ හයේ පහර 06ක් සමගින් ලකුණු 122ක් ලැබුවේය. කුසල් ශතකය ලබා ගත්තේ පන්දු 65ක දී ය. ඒ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. ලෝක කුසලාන තරගාවලියක දී මෙතෙක් ශ්රී ලංකා පිතිකරුවෙක් වාර්තා කළ වේගවත්ම ශතකය මෙයය. කුසල් හා පැතුම් ලකුණු 102ක සම්බන්ධතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවේන ගොඩනැගූහ.

අනතුරුව කුසල් සමග එක් වන්නේ සධීරය. කුසල් සහ සධීර තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 කම්බන්ධතාවයක් ගොඩනැගූහ. තුන්වන කඩුල්ල බිඳී යන්නේ ලකුණු 218 දීය ඒ කුසල් මෙන්ඩිස්ය. කුසල් එල්ල කළ පහර අසීරු උඩපන්දුවක් ලෙස ඉමාම් උල් හක් විසින් රැක ගත්තේය.
මෙවැනි තරගයක උඩ පන්දුවක් අතහැරීම යනු තරගයක් අත හැරීමක් වැනිය. අද කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුවක් ඉමාම් උල් හක් විසින් අතහැරියේය. ඒ අතහැරීම අවසානයේ නැවතුනේ ලකුණු 122කිනි.
අනතුරුව සධීර සමරවික්රම එක් අන්තයක් රැකගැනීමේ වගකීම ගත්තේය. ඔහු ඉවසීමෙන් මෙන්ම අතිශය විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන්නේය. ඔහු පන්දු 89ක දී ලකුණු 108ක් ලැබුවේය.
ධනංජය ද සිල්වා ලකුණු 25කි. දසුන්ට යළිත් රිද්මය මගහැරුණේය. ඔහු ලකුණු 12කි. ඒ පන්දු 18ක් තුළය. දුනිත් වෙල්ලාලගේ තරගයේ අවසන් පන්දුවේ දී පන්දුව පිටියෙන් එළියට යොමු කරන්නට ගොස් උඩපන්දුවකින් දැවී යන විට පන්දු 08ක දී ලකුණු 10ක් රැස් කරගෙන සිටියේය.
ශ්රී ලංකා කණ්ඩායම අවසන් පන්දු ඕවර කීපයේ දී බිඳ නොවැටෙන්නට ලකුණු 350 සීමාව ඉක්මවීමේ උපරිම අවස්ථාව තිබිණි. අන්තර්ජාතික විචාරකයන්ට අනුව එක් අවස්ථාවක ලංකාව ලකුණු 365ක් ලබා ගත හැකි තැනක සිටියේය. හසන් අලි ලකුණු 71කට කඩුළු 07ක් ලැබුවේය.

කෙසේ වෙතත් මේ පිතිකරණයට උචිත තණ තීරුව තුළ තරගයක් දිය හැකි ලකුණු ගණනක් සහිතව ශ්රී ලංකාව සිය ඉනිම නිමා කර ඇත.
එය අපූරු බව ලියා තබමු.