මනම්පිටිය නිමල් ජයරත්න
වී කිලෝවක් සඳහා රජය නියම කරන ලද සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, එය සංශෝධනය කර, අවම තරමේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක මිලක්වත් නියම කරන ලෙසත්, එසේ නොකරන්නේ නම්, පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ සියලු ගොවි සංවිධාන ඒකාබද්ධව, රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද වී මිලට එරෙහිව පළාත් හා ජාතික මට්ටමින් දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවත් මහවැලි බි කලාපයේ සේනපුර කොට්ඨාස ගොවි සංවිධානයේ උප සභාපති කපිල සිරිල් පතිරණ සඳහන් කරයි.
වර්තමානයේ බොහෝ ගොවීන් වී අස්වනු අමුවෙන් අලෙවි කිරීමට පුරුදු වී ඇති බවත්, එම වී පෞද්ගලික වෙළඳුන් තරගකාරී අයුරින් තුට්ටු දෙකට මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, අමු වී කිලෝවකටද සහතික මිලක් නියම නොකිරීම පිළිබඳ රජයට දැඩි අප්‍රසාදය පල කරන බවත් කපිල සිරිල් පතිරණ පැවසුවේය.
රජය හාල් හා වී සඳහා සහතික මිල නියම කිරීමේ වාසිය ලැබෙන්නේ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී මෝල් හිමිකරුවන්ට බවද ඔහු කීවේය.
පොළොන්නරුව වැලිකන්ද මොනරතැන්න ශ්‍රී ධර්ම විජයාරාමයේදී අද 06 පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කපිල සිරිල් පතිරණ ඒ බව සඳහන් කළේය.
” තව දින දහයකින් පහළවකින් පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ මහ කන්නයේ වී අස්වනු නෙලනවා. තාම වී ගබඩා සූදානම් කරලා නැහැ,. ඒ වගේම වී ලබාදෙන්න අපි ගබඩා ළඟට යන්න ඕනේ. ඒවට ගොවියා විශාල ප්‍රවාහන වියදමක් දරන්න වෙනවා. රජය නියම කරපු මිල කිසිසේත්ම සාධාරණ නෑ. ”
“නාමල් කරුණාරත්න මහතාත් පොළොන්නරුවේ ටී. බි. සරත් මහතා එදා සමස්ත ලංකා ගොවි සංවිධානය නියෝජනය කරද්දී මේ ප්‍රදේශවලට ඇවිත් අපිවත් විරෝධතාවලට පොළඹවලා කුඹුරුවලට බැහැලා කෑ ගැහුවා වී කිලෝවක් සඳහා රුපියල් 150 ක් මිලක් නියම කරන්න කියලා. අද ලැජ්ජ නැතුව නාඩු වී කිලෝවකට රුපියල් 120 ක් නියම කරනවා, ඒවගේම සම්බා කිලෝවකට රුපියල් 125 කුත්, කීරි සම්බා කිලෝවකට 132 කුත් නියම කරන්න හදපු නිර්ණායක මොකක්ද කියලා අපි කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් අහනවා,
වී කිලෝවක් නිෂ්පාදනය කරන්න අපට රුපියල් සීයත් එකසිය දහයක් විතර මිලක් යනවා. නුවර ඉන්න ලාල් කාන්තලා දන්නේ තේ ගොවියාගේ තොරතුරු විතරයි. අපට වී ගොවිතැන කරලා ලාභයක් ගන්න නම් ඇත්තටම වි කිලෝවකට රුපියල් 150 ක මිලකටත් යා යුතුයි. ඉතින් එදා කුඹුරට බැහැලා පාරේ උද්ඝෝෂණය කරපු නාමල් කරුණරත්නලා, ටී. බී. සරත්ලා අද බලයට පත්වුණාට පස්සේ වී ගොවියා අමතක කරමින් වලපල්ලට දාන්න පටන් අරන්. අපි බය නැතුව කියනවා ගොවියා වලපල්ලට දාලා කිසිම ආණ්ඩුවකට පැවැත්මක් නෑ කියන එක. මේ වී මිල හකුලා ගත්තේ නැත්නම් අපිත් අරගල කරලා මේ ආණ්ඩුව පලවා හරින්න සූදානම් බවද සිරිල් පතිරණ මෙහිදී කීවේය.
මෙම මාධ්‍ය හමුවේදී, මොණරතැන්න ඩී 02 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ, සභාපති සුජාන් කුමාර සහ රුහුණෙකත බෙදුම් ඇළ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික බී.එම්. සරත් ද කතා කරමින් ප්‍රකාශ කළේ රජය වී කිලොවක් සඳහා ලබාදුන් සහතික මිල වහාම හකුලාගෙන, වි කිලෝවක් සඳහා රුපියල් 150 ක මිලක්වත් නියම කරන ලෙසයි.
මෙම මාධ්‍ය හමුව සඳහා මහවැලි බි කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාශයේ ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ගොවීන් සහභාගී වී සිටියේය.







