මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන් ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය අද (06) පෞරාණික චාරිත්‍රානුකූලව තේවාව භාර අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා සම්බන්ධ වන කාර්ය මණ්ඩලයේත් සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
වාර්ෂිකව දළදා මාලිගාවේ දී මංගල්‍යයන් හතරක් සිදු කෙරන අතර ඉන් ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යයයි. ඉන් පසු පිළිවෙළින් අලුත් අවුරුදු මංගල්‍යය,පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය පැවැත්වෙයි.
ශ්‍රී දළදා මාලිගාවට අයත් කුඹුරු වලින් නෙළා ගන්නා ප්‍රථම අස්වැන්න පෙරහරින් දළදා මාලිගාවට රැගෙන විත් දළදා සමිඳුන් උදෙසා පූජා කිරීම සෑම වසරකම දුරුත් පුන් පොහෝ දින සිදු කෙරෙන්නේ රජ සමයේ පටන් පැවැත එන චාරිත්‍ර වලට අනුකූලවය.
අලුත් සහලින් පිසින ලද බුද්ධ පූජාව දළදා සමිඳුන් උදෙසා පූජා කිරීම තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වන අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි, අස්ගිරි පරිවේණාධිපති,නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.







