-
රටේ සමස්ථ පුද්ගල දත්ත පද්ධතිය දෙන්න යන්නේ කෙනයාව, ලයිබීරියාව, සුඩානය වැනි රටවලත් අසාදුලේඛනගත, අරක්කු ස්ටිකර් මුද්‍රණ කොන්ත්‍රාත්තුව අරන් හොර අරක්කු කාරයිනට ස්ටිකර් හොරට විකුණපු අශිෂ්ඨ සමාගමකට…
-
රටේ සමස්ථ පුද්ගල දත්ත පද්ධතිය ලබා දී ඉන්දියාවේ යටත් විජිතයක් කරන්න හදන්නේ රුපියල් බිලියන 04ක ණය මුදලකට… පුබුදු ජයගොඩ කියයි!
විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියළු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත් විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.

මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ අද (22) එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහි දී පුබුදු ජයගොඩ මෙසේ ද පැවසුවේය.
වැඩවසම් රාජාණ්ඩු කාලයේ තිබුණු දේවවරම්වාදී න්‍යායෙන් විශ්වාස කළේ රජය දෙවියන්ගේ නියෝජිතයා කියලා. ඒ නිසා රජයට පුරවැසියාගේ ශරීරයට මැදිහත් වීමේ අයිතියක් තිබුණා.
නමුත් මීට අවුරුදු 300කට පෙර එංගලන්ත, ඇමරිකානු, ප්‍රංශ විප්ලවවලදී රජය සහ පුරවැසියා අතර තිබෙන්නේ සම්මුතියක්, ඒ නිසා පුරවැසියාගේ ශරීරයට අත තියන්න රජයට බෑ කියන අදහස තහවුරු වුණා.
ලංකාවේ වර්තමාන හැඳුනුම්පත සඳහා රජය ලබා ගන්නේ ජීව දත්ත පමණයි. නමුත් 2013දී මහින්ද රාජපක්ෂ පාලනය සියවස් තුනක අයිතීන් අහිමිකරන විද්‍යුත් හැඳුනුම්පත් පනත් කෙටුම්පතක් ගෙන ආවා. ජනතා විරෝධය නිසා එය පසුපසට ගියත් 2015දී යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවල අනුමැතියෙන් එය සම්මත කළා.
ඩිජිටල් යටත්විජිතකරණය
නමුත් දැන් පෙනෙන්නේ මේ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ අරමුණ මර්දන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම පමණක් නොවන බව. එය කලාපීය භූ දේශපාලන ව්‍යාපෘති සමගත් පැටලිලා
ලංකාවේ ජනගහනයට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 41.05ක්. එයින් රුපියල් බිලියන 22.33ක් ප්‍රදානයක් ලෙස දෙන්න ඉන්දියාව ඉදිරිපත් වුණා. නමුත් ඒ සඳහා මේ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමකට දිය යුතුයි. එවිට ලංකාවේ සියළු දෙනාගේ මුහුණු ලක්ෂණ ඇතුළු ජෛවමිතික ලක්ෂණ, පවුල් ගස, ලෙඩරෝග, ගන්නා ඖෂධ, බැංකු ගිණුම් තොරතුරු ආදිය ඉන්දියාව සතු වෙනවා. එය ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වීමට සමානයි.
ඉන්දියාව ලංකාවේ ආණ්ඩුව යටත්වීමට එකඟ කර ගත්තේ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඩොලර් බිලියන 4ක ණයක් දීලා. යුද්ධයක් කරලා යටත් කරන්න ගියානම් ඊට වඩා වියදම් වෙනවා. මේ දියත් වෙමින් තියෙන්නේ ඩිජිටල් යුද ආක්‍රමණයක්.
ටෙන්ඩර් කැඳවීම
මේ සඳහා ටෙන්ඩර් කැඳවීම කළේ මේ වසරේ මැයි 8 වැනිදා. ටෙන්ඩරයේ අවසන් දිනය තිබුණේ ජුලි 3 වැනිදා. නමුත් එක සමාගමක් ඉලක්ක කරගෙන ඒ දිනය කීප වතාවක් වෙනස් කළා. අගෝස්තු 14ට කල්දාලා පසුව ජුලි 18ට ගෙනාවා. නැවත අගෝස්තු 1 නිවේදනය කර පසුව අගෝස්තු 2 දක්වා අවසන් දිනය වෙනස් කළා. මේ වෙනස් කිරීම පසුපස තිබෙන අබිරහස කුමක්ද?
කොහොම වුණත් අගෝස්තු 2 වනවිට ටෙන්ඩර ලංසු ඉදිරිපත් කර තිබුණේ ඉන්දියානු සමාගම් දෙකයි. ඒ Madras Security Printers සහ Protein Technologies යන සමාගම් දෙක. අසීමිත වගකීම් භාර ගැනීමට පැනවූ අභූත ටෙන්ඩර් කොන්දේසිය නිසා වෙනත් සමාගම් ඉදිරිපත් වුණේ නෑ. Protein Technologies සමාගමත් පදනම් හැඳුනුම්පත් ව්‍යාපෘතියක් නැති නිසා ප්‍රතික්ෂේප වේවි. හෙට වනවිට ටෙන්ඩරය ලබාදීමට නියමිතව තිබෙන්නේ Madras Security Printers සමාගමට.”
ටෙන්ඩරය හිමි කරගැනීමට නියමිත කුප්‍රකට Madras Security Printers සමාගම
“එම සමාගමටම තමයි 2016 වසරේ මත්පැන් බෝතල්වල අලවන ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබා දුන්නේ. ඔවුන් විශ්වාසය කඩ කළා. හොර අරක්කු සඳහා සිය ස්ටිකරය විකුණනවා. මේ ජාවාරම නිසා වසරකට රුපියල් බිලියන 60ක පමණ සුරාබදු ආදායමක් රජයට අහිමි වන බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්‍තුවේදී කිව්වා. ඒ සමාගමටම තමයි හැඳුනුමපත් ටෙන්ඩරයත් දෙන්න යන්නේ.
මේ සමාගම කෙනයාව, ලයිබීරියාව, සුඩානය වැනි රටවලත් අසාදුලේඛනගත සමාගමක්. ඔවුන් කලින් පිලිපීනයේ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතියකට මැදිහත්වී අසාදුලේඛනගත වුණා.
මෙවැනි සමාගමක් හරහා ඉන්දියාව ලංකාව මත ඩිජිටල් ආක්‍රමණයක් සිදුකරන බව පැහැදිලියි. ඒ නිසා මේ ව්‍යාපෘතිය වහාම හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. නව විද්‍යුත් හැඳුනුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස හා එයට තොරතුරු ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.