පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේන සිය සැමියා සමඟ පදිංචිව සිටින බත්තරමුල්ල වික්‍රමසිංහපුර නිවසට හොරු පැන රන් ආලේපිත ඔටුවකුගේ පිළිමයක් ඇතුළු රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා දේපොළ රැසක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන චතුරිකා සිරිසේනගේ සැමියා විසින් පොලිසියට පෙරේදා (21) පැමිණිල්ලක් කර තිබේ. සොරා ගැනීමට ලක්ව ඇති රන් ආලේපිත ඔටුවා මෛත්‍රීපාල සිරිසේ ජනාධිපතිවරයාව සිටියදී කුවෙට් හි සංචාරයක නරතව සිටියදී ලද තෑග්ගක් බව කියැවේ. එම ඔටුවාගේ දෑස්වල ඇත්තේ දියමන්ති බවද සඳහන්ය.
ඒ හැරුණු කොට සිංගප්පූරුවේ සංචාරයක නිරතවන අතරතුර සිහිවටනයක් ලෙස ලැබී තිබුණු රන් ආලේපිත සිංගප්පූරු කාසි 08ක්, ස්මාට් අත්ඔරලෝසුවක්, වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් සමඟ රුපියල් 150,000ක මුදලක් සොරාගත් දෑ අතර ඇතැයි පොලිසියට ලද පැමිණිල්ලෙහි සඳහන්ය.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 20 වෙනිදා දහවල් 12.00ත් පෙරේදා (21) උදෑසන 6.00ත් අතර නිවසේ කිසිවෙකුත් නොසිටි කාලය තුළ දී බව පොලිසිය කියයි.
නිවසේ පිටුපස දොර බිඳ නිවසට ඇතුළු වී අල්මාරියේ තිබුණු මෙම භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය. – දිනමිණ







