හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී කොටු වෙති…

විදේශගතව සිට ශ්‍රි ලංකාවේ මත් කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රබලතම ජාවාරම්කාරයින් දෙදෙනකු වන හරක් කටා හෙවත්  නදුන් චින්තක වික්‍රමරත්න  සහ කුඩු සළිඳු ලෙසින් හඳුන්වන  සළිඳු ගුණරත්න මේ වනවිට මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කර ඇති රතු නිවේදනයකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමඟ  ශ්‍රි ලාංකිකයන් පස් දෙනකු ඇතුළු අට දෙනකුද අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පිරිස අතර හරක් කටාගේ බිරිය බව කියන මැඩගස්කරයේ මැලගාසි ජාතික කාන්තාවක සහ ඇගේ පියාද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.


එම වාර්තාවලට අනුව එරට ආරක්ෂක අංශ විසින් පසුගිය මාර්තු  01 වෙනිදා  මැඩගස්කරයේ ඉවාටෝ  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී  මැඩගස්කරයට පැමිණ ඇති ඔවුන් යළි එරටින් පිටවන්නට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ව්‍යාපාරික සංචාරයකට පැමිණි සුපිරි ව්‍යාපාරිකයකු සේ පෙනි සිට ඇති හරක් කටා අත්අඩංගුවට පත්වන විට නිල් පැහැ යුරෝපීය ඇඳුමකින් සැරසී සිට ඇති අතර සෙසු කණ්ඩායම ඔහුගේ ආරක්ෂකයන් සහ ආවතේවකරුවන් ලෙස කටයුතු කරන ආකාරයක් පැවති බව සඳහන් වේ.

මෙම  වාර්තාවලට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරටට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇති අතර පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොලට පැමිණ ඇති බවද එහි සඳහන්ය.

ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව  මැඩගස්කර ආරක්ෂක අංශ විසින් පැහැදිලිවම හදුනාගෙන ඇත්තේ හරක් කටා පමණි. එහෙත්  ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සමඟ තවත් ප්‍රබල මත් ජාවාරම්කරුවකු වන කුඩු සළිදු ද සිටින බවට අනාවරණය කරගෙන තිබේ.

ඔහු හරක්  කටාගේ  ප්‍රධානන ආරකෂකයා ලෙස ක්‍රියා කර ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත.

මැඩගස්කර්  වාර්තාවලට අනුව ඔවුන් සමඟ පැමිණි හරක් කටාගේ බිරිඳ  බව කියන මැඩගස්කර් ජාතික කාන්තාව සතු ව තිබූමැඩගස්කර් මුදල් ඒකකය වූ    ඇරියාරි බිලියන 32ක මුදලක්ද  මෙම පිරිස පැමිණි සුඛෝපභෝගී වාහන දෙක සහ  සැකකරුවන්ගේ  ජංගම දුරකථන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්  මුදල් රාජසන්තක කළ බවද  සඳහන් වේ. මෙම පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

2022 වසරේ  අගෝස්තු 11 වැනිදා   ඩුබායි සිට මලයාසියාව බලා යාමට ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ද හරක් කටා අත්අඩංගුවට ගැනුණු අතර එයද සිදුවූයේ ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවස්ථාවේදීද ඔහු සමඟ කුඩු සලිදු සිටියේය. කෙසේ වුවද  එවර ඔවුන්  මෙරටට ගෙන්වා  ගැනීමට  අවශ්‍ය වූ නීතිමය කරුණු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර ඔවුන් නිදහස් කිරීමට  ඩුබායි පොලීසිය කටයුතු කළේය

Exit mobile version