අශෝක වීරසිංහ
[email protected] –
ආරක්ෂක අංශ දේශපාලනයට ගාවා නොගන්නැයි පසුගියදා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය. ආරක්ෂක අංශ දේශපාලනයට ඇඳා ගත්තා පමණක් නොව එළව එළවා පළිගත්තේ ඔහු සිටින පක්ෂයේ නායකයා බව ඔහුට නොපෙනීම කණගාටුදායකය. 2009 එල්.ටි.ටී.ඊ.යට එරෙහි යුද්ධය නිමවීමෙන් පසුව වැඩි පුරම දේශපාලන පළිගැනීම්වලට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ලක් වූයේ මහින්ද රාපක්ෂ පාලනය යටතේ ය. යුද්ධයට නායකත්වය සැපයූ යුද්ධ හමුදාවේ ප්‍රධානියා වූ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකාගේ සිට එම පාලනයට ආවැඩීම් නොකළ හමුදා නිලධාරීන් බහුතරය පළිගැනීමට ලක් කර අනිවාර්ය නිවාඩු යැවීමේ සිට විශ්‍රාම ගැන්වීම දක්වා සිදුවිය. උසස්වීම් අහිමි වූ පිරිසක් ද සිටියෝය. එහෙත් මහින්ද රාජපක්ෂ පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද බලයට ආවේ රණවිරුවන් ගොඩදාන පොරොන්දු කප්පරක් දෙමින්ය.
තමන්ට නතු නොවන පිරිස දඩයම් කරන ක්‍රියාදාමය දියත් වෙද්දී , ඔවුන්ගේ පාලනයට ආවැඩූ පිරිසට තනතුරු පිරිනැමුවේ කිසිදු රාජ්‍ය සේවයේ හෝ ව්‍යවස්ථා නීතියක් නොතකමින් බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනකුට මතක ඇතිවාට සැක නැත. මහජන අරගලයකින් ප්‍රධාන පාලකයා එළවා දමද්දී පවා ඉන් මේ පාලක පැළැන්තිය උගත් පාඩමක් නැති බව පෙනේ. එනිසාම ඔවුන් යම් අනාගතයේ දිනෙක මහජනයා මේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දක්වන විට අනුකම්පාව බලාපොරොත්තු වන්නේ නම් එය ද අහිමි වන බව කිවයුතුය.

අධිකරණයට ගිය බ්‍රිගේඩියර් රණවීර
පසුගියදා 2009 උතුරු යුද පෙරමුණේ 55 වැනි සේනාංකය සමග මහත් කාර්යභාරයක් සිදුකළ පාබල සේනාංකයේ 4 වැනි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් චන්දන රණවීරට නියමිත මීළඟ හමුදා උසස්වීම ලබානොදීම නිසා ඔහු ඊට සාධාරණත්වය අධිකරණයෙන් පැතුවේය. ඒ අනුව ඔහුට 2021 වසරේ සිට අදාල මේජර් ජෙනරාල් ධූරය සහ එම ධූරයට අදාල වැටුප් ගෙවන ලෙස අධිකරණය නියෝගයක් ද ලබාදුන්නේය. මෙලෙස තමන්ට හිමි අයිතිය ඉල්ලා අධිකරණයේ පිහිට පැතීමට මෙම බ්‍රිගේඩියර්වරයාට සිදුවූයේ අන් කිසිවක් නිසා නොව දේශපාලන එහෙයියකු නොවීම නිසා පළිගැනීමට ලක්කිරීම නිසාය.
බ්‍රිගේඩියර් චන්දන රණවීර එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේ දෙවෙැනි අදියරේ ආරම්භයේ සිට ද 3 වැනි පාබල හමුදා ඒකකයේ ක්‍රියාන්විත රාජකාරිවලට කැපවූ හමුදා නිලධාරියෙකි. ගුවන් සංක්‍රමනික බලසේනා යටතේද නායකත්වය දෙමින් බොහෝ ජයග්‍රහන අත්පත් කරදුන් රණවිරුවෙකි. 1987 ජූලි 07 වැනි දින යුද හමුදා සේවයට එක්වී 1989 ජූනි 23 වැනි දින අධිකාරි ලත් නිලධාරියකු ලෙස උසස්වීම් ලබාගත්තේය. කාර්ය ශූර නිලධාරියකු ලෙස චන්දන රණවීර ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස මුහමලෙයි ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දමා උතුරු යුද මෙහෙයුමේ අභීතව සටන් කරමින් සිය ජීවිතයේ වටිනාම කාලය කැපකළ නිලධාරියෙකි. 1991 වසරේ අලිමංකඩ හමුදා කඳවුර බේරාගත් බලවේග ක්‍රියාන්විතයේ මුහුදින් පැමිණ මුලින්ම ගොඩබිමට පැතැබූ එඩිතර නිලධාරියෙක් වේ. සතුරා ඉදිරියේ පළා නොගිය මෙම හමුදා නිලධාරියා මට මුණගැසුණේ 2009 වසරේ අවසන් සටන දියත් වූ අවස්ථාවේ 55 වැනි සේනාංකය යටතේ යුද පෙරමුණේ සිටියදීය.

ඔහු 06 වරක් රණශූර පදක්කම් සහ දෙවරක් රණවික්‍රම පදක්කම් ලබා ගැනීම ඔහුගේ යුදබිමේ අසීමිත කැපවීම පිළිබඳ ඉතාම හොඳ සහතිකය. 2009 වසරේ මේජර්වරයකු ලෙස එල්.ටී.ටී.ඊ.යට එරෙහි අසීරු මෙහෙයුම් සිදුකළේ වැලි සහිත වෙරළ තීරයත් , කලපු තීරයත් සහිත අතිශය අසීරු භූමියකය. බිම්බෝම්බ සහිත, යුද රථ පවා ගමන් කිරීමට අසීරු වැලි සහිත පරිසරයක ඔහු සිය පාබල හමුදා මෙහෙයවමින් පුදුකුඩිඉරිප්පු දක්වා එල්.ටී.ටී.ඊ. පස් බැඳි බිඳ දමා සිය අනුඛණ්ඩයේ භට පිරිස්වලට නායකත්වය සැපයූ හමුදා නිලධාරියෙකි.
අධිකරණ තීන්දු නොතකන යුද හමුදාපතිගේ මුග්ධකම
වත්මන් යුදහමුදාපති විකුම් ලියනගේ උසස්වීම් ලබානොදෙමින් පළිගැනීමට ලක්කර ඇත්තේ එලෙස රටට සේවයක් කළ අභීත නිලධාරියෙකි. ඊට මනා නිදසුන අධිකරණය ලබාදුන් තීන්දුවයි. බ්‍රිගේඩියර් චන්දන රණවීරට 2021 වසරේ සිට අහිමි කර ඇති මේජර් ජෙනරාල්ධූරයට උසස් කිරීමත් , අදාල හිඟ වැටුප් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය පසුගියදා තීන්දුවක් ලබාදුන්නේ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ගෙන් පළිගන්නේ කවුද යන්න රටට හෙළිදරව් කරමින්ය.
වහසි බස් දොඩන ඇමති මණ්ඩලයක දෙපතුල් ළඟ වැටී සිටින හමුදාපති වැනි නිලධාරීන් ගෙන් රටේ ජනතාවට සාධාරණයක් සිදුවේ යැයි සිතන්නේ කෙසේද? අධිකරණ තීන්දුවක් පවා නොතකමින් අත්තනෝමතික ලෙස හැසිරෙන හමුදාපතිවරයකු ගෙන් බලාපොරොත්තු විය හැක්කේ පාලක රූකඩයකු මිස ඊට වැඩි යමක් නොවේ.
මෙවැනි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් අධිකරණය නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන්නේ රටේ නීතියේ සාධාරණත්වය යම් පමණකට හෝ රැකගැනීම ඔවුන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන නිසාය. පාලකයින් ඒකාධිපතියන් ලෙස හැසිරෙන්නේ සහ අතීතයේ හැසිරුණේද මෙවැනි රූකට ආරක්ෂක අංශ නිලධාරීන් නිසා බව පැහැදිළිය.
පසුගිය කාලය පුරා කැපවීමෙන් සිය සේවය කළ අවංක නිලධාරීන් ඇගයීම වෙනුවට සිදුවූයේ ඔවුන් බලෙන් විශ්‍රාම ගැන්වීම, නියමිත උසස්වීම් ප්‍රමාද කිරීම වැනි පළිගැනීමේ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමය.
ජ්‍යෙෂ්ඨත්වය අනුව මාණ්ඩලික ප්‍රධානී තරනතුර හිමිවිය යුතු බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ උසස්වීම අහිමිකර ඒ වෙනුවට කණිෂ්ඨ නිලධාරියකු පත් කිරීම තුළින් එහි ඇති අත්තනෝමතික ස්වභාවය තේරුම්ගත හැකිය.
මෙවැනි නිලධාරීන්ට එරෙහිව කළ හැක්කේ කුමක් ද?
නීති විශේෂඥයින් පෙන්වා දෙන්නේ අධිකරණ නියෝග නොතකා ක්‍රියාකර ඇති යුදහමුදාපති විකුම් ලියනගේට එරෙහිව පුද්ගලික නඩුවක් පවරා අධිකරණයට අපහාස කිරීම පමණක් නොව ජ්‍යොෂ්ඨ නිලධාරීයකුගේ වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් වන්දි ලබාගත හැකි බවයි. පුද්ගලික නඩුවක් පවරන අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත්වීමක් සිදු නොකළ හැකි බවට රාජ්‍ය ආයතන සංග්‍රහයේ දක්වා ඇතැයි ද නීතිවිශාරදයෝ පෙන්වා දෙති. මෙවැනි අනීතික නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිවිල් සංවිධාන මැදිහත්වීම අතිශය වැදගත් වේ. ඒ ඔස්සේ මෙවැනි බත්ගොට්ටන් වැනි නිලධාරීන් ඉහළ පුටුවල වැජඹීම නවත්වන ක්‍රියාදාමයන් ගෙනඒමට ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයන්ගේන් පොරොන්දුවක් ලබාගන්නා තැනට බලපෑමක් සිදුකළ හැකිය.
මෙම ක්‍රියාදාමය හුදෙක් එම නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නොව රටේ මහජන ජීවිතවල ඉරණම පිළිබඳ ප්‍රශ්නයක් බව අප දැන් හෝ තේරුම්ගත යුතුව ඇත. යුද්ධ හමුදාව තුළ දේශපාලන එහෙයියන් නොවූ විශාල පිරිසක් මේ පළිගැනීම්වලට ගොදුරු වූහ. පසුගියදා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු විශ්‍රාම ගන්වනු ලැබුවේ හමුදාපතිධූරයට තමන්ගේ හිතවතකු පත්කර ගැනීමට බව අතීත අත්දැකීම් ඇති ඕනෑම අයකුට තේරුම් ගැනීමට අපහසු නැත. අදාල ඉහළ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ නම් සඳහන් නොකරනුයේ ඔවුන් දැන් විශ්‍රාම ගන්වා සිටින නිසාය.
අනුර කුමාර නායකත්වය දරණ ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් තීරණය කිරීමත් සමග ඔවුන්ගෙන් පළිගැනීම ආරම්භ කළේ මහජන අරගලයකින් පවා උගත් පාඩමක් නැති දේශපාලනඥයින් සහ උන්ට සට්ටැඹිකම් කරන නිළධාරී පැළැන්තියකි. මේවා වසා හුනු පිරියම් කරන්නට පාර්ලිමේන්තුව යොදාගැනීම නවතා දමන්නට අනාගත පාර්ලිමේන්තුවක් තුළ හෝ සිදුවිය යුතුව ඇත.
රාජකාරි සමයේ සිටම ප්‍රසිද්ධියේ මෙහෙවර කර පසුව ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ පුටුවක ඉඳගැනීම දේශපාලන බබ්බුන්ට හැර වෙන කිසිවකුට සාධාරනීකරණය කිරීමට නොහැකිය. මේ තත්ත්වය මතු ඇති නොවන්නට අනාගත දේශපාලනඥයින් වචනයට සීමා නොකොට ලිඛිත පොරොන්දුවක් ලබාදීම වැදගත්ය. එවිට සැබෑ රණ විරුවන්ට පමණක් නොව අවංක රාජ්‍ය නිළධාරීන් ඇතුලු රාජ්‍ය සේවකියින්ට ද නිසි ගෞරවයකින් තමන්ගේ රාජකාරි ඉටුකළ හැකි වනු ඇත.







