ඉන්දියාවේ අදානි ග්‍රීන් එනජි සමාගම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලින් ඉවත් වීමට පෙර එම සමාගම විසින් රට තුළ සිදු කරන ලද මූලික වියදම් අයකරගැනීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
අදානි සමාගම සහ පසුගිය රජය විසින් පිවිසි ගිවිසුමට අදාලව එකඟ වූ කොන්දේසිවලට අනුව එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මාලිමා රජය සූදානම් නොවීමෙන් පසුව අදානි ග්‍රීන් එනජි සමාගම අදාල ව්‍යාපෘතියෙන් ඉවත් වූයේය.
නව රජය සිය මැතිවරණ ව්‍යාපාර තුළ ජනතාවට දුන් ප්‍රධානම පොරොන්දුවක් වූයේ විදුලි බිල අඩු කිරීමය. ඒ සඳහා රට තුළ විදුලි පිරිවැය අඩු කිරීමට ගත් තීන්දු ප්‍රකාරව ඉකුත් රජය අදානි සමාගමට ගෙවීමට එකඟ වූ මිලෙහි සංශෝධනයක් එම සමාගමට මාලිමා රජය විසින් යෝජනා කළේය. එම තත්ත්වය තුළ අදානි ග්‍රීන් එනජි සමාගම තීන්දු කළේ සිය ව්‍යාපෘතිය ඉවත් කරගැනීමය.
සමාගම උතුරු පළාතේ මන්නාරම සහ පූනරින් නගරවල සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර එය ඩොලර් මිලියන 442 ක් ආයෝජනයක් විය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමට අපේක්ෂා කරන ලදී.
ව්‍යාපෘතියෙන් ඉවත් වූ අදානි ග්‍රීන් එනජි සමාගම අනතුරුව මෙම වසරේ මැයි මාසයේදී රජයේ බලධාරීන්ට ලිපියක් යවා දන්වා තිබුණේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව සිය සමාගම විසින් සිදුකළ පර්යේෂණ සහ විමර්ශන සඳහා දැරූ වියදම් ප්‍රතිපූරණය කරන ලෙසය.
ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැනට සමාගම විසින් ඉල්ලා සිටින සමහර වියදම් සඳහා ප්‍රතිපූරණය කිරීම පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැඩිව අවධාරණය කර ඇත්තේ බලශක්ති බලපත්‍රය සඳහා ගෙවන ලද ගෙවීම් ප්‍රතිපූරණය කළ නොහැකි බවයැයි පැවසේ. එහෙත් නීති උපදෙස් මත පදනම්ව අනෙකුත් වියදම් ප්‍රතිපූරණය කිරීම සලකා බැලීමට එම අධිකාරිය මේ වනවිට සූදානම් වෙමින් ඇත.
නීති උපදෙස් අනුගමනය කිරීමෙන් පසු ප්‍රතිපූරණයන් සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් සම්බන්ධව නඩු පැනවිය හැකි බව තොරතුරු සහිත මූලාශ්‍ර උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.







