පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් මාධ්‍ය වෙත නිරාවරණය කිරමින් කටයුතු නොකරන ලෙස චක්‍රලේඛ නිකුත් කරමින් උපදෙස් ලබා දී ඇති බවත්, එම තත්ත්වය තව දුරටත් පාලනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්කොන් නැවත චක්‍රලේඛයක් මගින් ශ්‍රී ලංකා පොලිිසියේ සියලුම නිලධාරීන් දැනුම්වත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොලිස්පතිවරයා මේ ආකාරයේ නව චක්‍රලේඛයක් නිකුත් කරන්නේ පසුගිය දා අතුරුගිරිය නගර මාධ්‍යයේ ටැටූ චිත්රාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පී කේ.සුජීවා ගේ සැමියාවන නයන වාසුල එදිරිසූරිය ඝාතන සිද්ධියේ දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු වූ එම චිත්‍රාගාරය හිමි තරුණයා රූපවාහිනි කැමරා ඉදිරියට ගෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කර ලබා ගත් ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන ඇතුළු නිලධාරින් ක්‍රියාකළ වගකීම් රහිත ආකාරය සම්බන්ධව දැඩි විරෝධයක් මතුවීමත් සමගය.
මෙම හැසිරීම අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුන අතර පොලිසියට සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටවත් කඩුවෙල අධිකරණය ඉඩ ලබා දුන්නේ නැත.
වෘත්තීය පොලිසියකට නුසුදුසු මේ වගකීම් රහිත ආකාරය ගැන වහාම විමර්ශනයක් පවත්වා දෙසතියක් ඇතුළත එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් කොමිසම විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.
සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග නොපැකිලව ගන්නා බව ද පොලිස් කොමිසම දැනුම් දී තිබේ.









