සර්ව පාක්ෂික සමුළුව රැස්වන්නේ ජාතික ආණ්ඩු ගැන කතා කිරීමට නොවන බවත් ජාතික ආණ්ඩුවක් ගැන සර්ව පාක්ෂික සමුළුවේ දී වචනයකුදු කතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
සර්ව පාක්ෂික සමුළුව රැස් කිරීමේ පරමාර්ථ අතර ජාතික ආණ්ඩුවක් සම්බන්ධව සාකච්ඡා කිරීමත් තිබේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම සමුළුවට සහභාගී නොවන බව කී මහලේකම්වරයා අද රටට අවශ්‍ය වී ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව රට ගොඩගැනීමේ වැඩපිළිවෙළක් බව ද කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
ඒ අර්ථයෙන් සලකා සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වී වැටී තිබෙන මේ රට ගොඩගත හැකි තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම එය වර්ජනය කරනවාට වඩා ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
මීලඟට බලයට පත් වන්නේ කවුද යන චේතනාවෙන් සමුළුවට සහභාගී වනවාට වඩා දැන් රට පත්ව ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට අප කළ යුත්තේ මොනවාදැයි මූලික කරගෙන ඊට සහභාගී වීම වඩාත් ඵලදායී වනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී.ල.නි.ප ය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන්නේ පුළුල් වැඩපිළිවෙළක් සහිතව ඵලදායී යමක් සිදුවනු ඇතැයි යන විශ්වාසය සහිතව බව ඔහු කීවේය.







