දිනසේන රතුගමගේ –
යාපනයේ අපරාධ රැසකට හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට වරදකරුවකු වී අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටින පුද්ගලයෙකු සරණාගතයෙකු වශයෙන් පෙනී සිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලායමින් සිටියදී ධනුස්කොඩි පොලීසිය ඊයේ (11) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහුව රැගෙන ගිය ඉන්දීය ජාතිකයාද බෝට්ටුව සමග අත් අඩංගුවට ගෙන ඇත.
යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රුපියල් 75000 ක මුදලක් ඉන්දීය ධීවරයෙකුට ලබා දී ඔහුගේ බෝට්ටුවෙන් ඉන්දියාවට පලාගොස් තිබේ.
ධනුස්කොඩි වෙරළාරක්ෂක පොලීසියේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී උතුරේ ජීවත් වීමට නොහැකි නිසා සරණාගතයෙකු වශයෙන් ඉන්දියාවට පලා ආ බව ප්‍රකාශ කොට ඇත.
දිගින් දිගටම ඔහුගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු සපයන ලද විස්තර එකිනෙකට පරස්පරවීම නිසා ඔහුව ධනුස්කොඩි පොලීසිය වෙත බාර දී තිබේ.
පොලීසිය විසින් කළ සොයා බැලීම් වලදී මොහු අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළි වි ඇත. පසුව එම පුද්ගලයාව ආපසු ශ්‍රි ලංකාව වෙත එවා ශ්‍රී ලංකා පොලීසියට ඔහුව බාර දීමට ධනුස්කොඩි පොලීසිය පියවර ගෙන තිබේ.