සඳගල ලෙස ජන වහරේ ප්‍රකට වී තිබූ ටොන් ගණනාවක් බර දැවැන්ත ඓතිහාසික පුරාස්මාරකය පසුගිය 14 දා අලුයම හොරකම් කරගෙන ගිය පුරාවස්තු හොරුන් හඳුනාගෙන සිටින නමුත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරීම සම්බන්ධව මේ වන විට චෝදනා එල්ල වෙමින් ඇත.
පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම හොරකමට සම්බන්ධ බවට හඳුනාගත් ප්‍රධාන සැකකරුගේ ඩිෆෙන්ඩර් රථය සහ පුරාවස්තුව පැහැරගෙන යන ට්‍රක් රථය සීසීටීවී කැමරා තුනක සටහන් වී තිබී ඇත.
එමෙන්ම මෙම සොරකමට මුල් වූ බවට හඳුනාගෙන ඇති ඩිෆෙන්ඩර් රථයත් එය හිමි පුද්ගලයාත් හඳුනාගෙන ඇත. මේ තැනැත්තා හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ලඟ දේශපාලනය කර මේ වනවිට නුවර ප්‍රබල ඇමතිවරයෙකුගේ කිට්ටුම ආධාරකරුවෙක් ලෙස කටයුතු කරමින් පසුවන පුද්ගලයෙකි.
කෙසේ වෙතත් මේ අත්අඩංගුවට නොගැනීම් පසුපස දේශපාලන බලපෑමක් නොමැති බව වාර්තා වේ. එහෙත් සිද්ධිය සම්බන්ධව විමර්ශන කණ්ඩායමක් භාරව කටයුතු කරන පොලිස් ප්‍රධානියෙක් සහ විමර්ශන කටයුතු භාර පොලිසියේ ස්ථානාධිපතිවරයා පත් කිරීමට දේශපාලනිකව මැදිහත් වීම් කිරීමට මුල් වී ඇත්තේ මෙම පුද්ගලයා බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ හේතුව නිසා මෙම විමර්ශන ප්‍රධානීන් විසින් පොලිසියේ ඉහළ නිලධාරීන් ද නොමග යවමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු නොවන තැනට වැඩ කරමින් ඇතැයි වාර්තා වේ.
වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා වසර 32 ක් රජකළ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට හඳුනාගෙන ඇති කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ පුරාවිද්‍යා ස්මාරකය අඩි හතක් දිග අඩි තුනක් පළල දැවැන්ත කළුගල් කුට්ටියකින් නිර්මාණය කළ එකකි.
මෙම පුරාවස්තුව බැකෝ යන්ත්‍රයක් අධාරයෙන් ගලවාගෙන බර වාහනයක පටවා රැගෙන ගොස් ඇති ආකාරය මූලික විමර්ශනවලින් අනාවරණය වී විය.







