උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන මෙම හස්ථියාගේ හොඬවැල දඩයක්කාරයෙකුගේ මන්දකට අසු වී වෙන්වී ඇති ආකාරය සම්බන්ධව ඡායා රූපයක් යළිත් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ.
මෙම හස්ථියා පුරා වසර 08ක් තිස්සේ වනවජීවී නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වෙමින් පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර සහිතව ජීවත් වෙමින් ඇත.
එහෙත් එවන් වාසනාවක් හැම වන අලියෙකුටම ලැබෙන්නෙ නැත. අප්‍රමාණ දුක් විඳ අනන්ත වදයට ලක් කර මේ රට තුළ වන අලි මිය යමින් සිටිති.
පසුගිය වසර තුළ (2022) වන අලි මරණ 433ක් සිදුවූ බවට වාර්තා ලැබී තිබෙන බව වන ජිවී දෙපාර්තමේන්තුව පවසයි.
ඍජුව මිනිසුන් විසින් වන අලි 161ක් මරා දමා තිබිණි. වෙඩි තැබීමෙන් වන අලින් 58ක්, හක්ක පටස් නිසා 55ක්, විදුලි සැර වැදීමෙන් 47ක් සහ එක් වස දීමක් වශයෙනි.
මෙහි ඛේදවාචකය වන්නේ මේ වසර තුළ වන අලි ප්‍රහාරයට ලක්ව පුද්ගලයින් 145ක් ද මිය ගොස් තිබීමය. දළ වශයෙන් එකට එක අනුපාතයෙන් අලි සහ මිනිස්සු මරාගෙන මැරෙති.
ගිය වසරේ වාර්තාවුන අලි මරණ අතරින් අනෙක් මරණ 433න් 217ක් ස්වභාවික අලි මරණය.
ඉතිරි 55 මරණ 55ට හේතුව මිනිසුන් වක්‍රකාරව සම්බන්ධවන, දුම්රිය අනතුරු, රිය අනතුරු, වගා ළිංවල වැටීම්, වාරි පද්ධතිවල ගිලී යෑම් වැනි හේතුය.
මේ මරණ පසුපස ඇති යථාර්ථය අප හිතනවාටට වඩා සෝචනීය ය. වන අලි තර්ජන නිසා ජීවන වෘත්තිය කරගනු තබා නිවසින් එළියට බහින්නට බැරි තරම් අසරණ මිනිස්සු වෙති. මේ මිනිසුන් අපට කියන්නේ දේශපාලයකින් ඇතුළු ධනපතීන් සහිත සමාගම් වනය තුළ සිදුකරන අතිශය විනාශාකාරී වගා ව්‍යාපෘති අතුළු දුර්දාන්තයන් හේතුවෙන් වන අලි ගම් වදින බවය.
දකුණේ මිනිස්සු වනය තුළ සිදුවෙමින් ඇති වන හානියෙන් වන අලින්ගේ නිජ බිම් අහිමි වී තමනුත් අසරණ වීම සම්බන්ධව පසුගිය කාලයක් පුරා අඛණ්ඩ විරෝධතා දැක්වූහ. එහෙත් ඉන් අත් වූ ප්‍රතිඵලයක් නැත.
සැබැවින්ම ලෝකයට අපේ ම්ලේච්ඡත්වය පෙනෙන්නේ මෙම අලි මිනිස් ගැටුම තුළ නොවේ. පෙරහර සංස්කෘතියට මුවා වී සිදුකරන හීලෑ අලි අවභාවිතය තුළය. පෙරහරට අවශ්‍ය බව ලෝකයට පවසමින් පන්සලට සංඝීක කරගන්න අලි ඇතුන් මාසයකට ලක්ෂ තුනකට හතරකට සෆාරීවලට හෝ දැව මඩුවලට හයර් කරන පන්සල්වල අලි අවභාවිතය ගැන මේ රටේ සිංහල බෞද්ධ උපාසක අශිෂ්ඨයින් එකෙක්වත් කතා කරන්නේ නැත.
දැන් ලෝක අවධානය යොමු වී තිබේ. කන්දේ විහාරයේදී අනන්ත වද බන්ධනයට ලක් වී යළි තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හෙළි කළේ මේ අඳුරු කතාවය. මේ රටේ පන්සල් ආශ්‍රිතව සිටින්නේත් ම්ලේච්ඡයන්ය යන අදහස දැන් ලෝකයට ලැබී ඇත. ඒ මේ රටේ බහුතරය නොවන බව කෑ ගසා කියන්නට දැන් ප්‍රමාද වැඩිය. සාංඝීක මුතුරාජා මේ රටේ අසංස්කෘතික සමාජයේ නිරුවත ලෝකයට පෙන්වා හමාරය.
මිනිසුන් සත්තුන් බවට පත් කළ රටක මිනිස්සුන්ට පැවැත්මක් නැතිවිට සත්තුන්ට කවර පැවැත්මක්දැයි දැන්වත් අප අපෙන් විමසිය යුතුය.
ඒ තාක් උඩවලවේ සැරි සරන මේ හොඬවැල වෙන් වුන ඇතා පමණක් නොව, දිනපතා හක්ක පටස් නිසා අනන්ත වද බන්ධනයට ලක්ව මිය යන අසරණ වන අලින්ගේ අඳෝනාව සාපයක් වී යළි මේ රට මත පතිත වනු ඇත.







