දිනසේන රතුගමගේ –
ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු සාමාජිකයින් 72 ක් පලමු වරට යාපනයේ සංචාරයක් ආරම්භ කොට තිබේ.
යාපනයට පැමිණි ආදීවාසී කණ්ඩායම ප්‍රදේශයේ හින්දු ආගමික නායකයින් පොලිසිය ඇතුළු ස්වේච්ඡා සංවිධාන නායකයින් මහත් හරසරින් පිළිගෙන ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක් හා මාධ්‍ය හමුවක් යාපනයේදී පවත්වන ලදී.
දින තුනක කාලයක් යාපනයේ නාච්චිමලර් හින්දු කෝවිලේ නවාතැන් ගන්නා ආදීවාසී කණ්ඩායම යාපනයේ නාග විහාරය නාගදීපය ඇතුළු විශේෂ ස්ථාන ගණනාවක සංචාරය කිරීමට නියමිතය.
යාපනයට පැමිණි ආදීවාසීන් වෙනුවෙන් යාපනයට ආවේණික සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විශේෂ සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කොට ඇති අතර එහිදී ආදීවාසී ජනතාවගේ පාරම්පරික නර්තනයන් වන කිරි කොරහා නැටීම ඇතුළු අංග කීපයකින් යාපනයේ ජනතාව රසාස්වාදයට ලක් කිරීමටද කටයුතු සංවිධානය කොට තිබේ.
මෙම සංචාරයේදි අදහස් දක්වමින් කතා කළ ආදීවාසී නායකයා කියා සිටියේ මේ රට සියළු ජාතීන්ට හා සියළු පාර්ශ්වයන්ට අයත් නිසා ගැටුම් ඇති කර ගනිමින් එය බෙදා වෙන් කර ගැනීමට කටයුතු නොකළ යුතු බවයි.
යුද සමයේදී උතුරේ තිබූ ආගමික සිද්ධස්ථාන විනාශ නොකිරීම සම්බන්ධයෙන් යුද්ධයට හවුල් වූ සියළු පාර්ශ්වවලට තමන් ස්තූති වන බවද ආදීවාසී නායකයා කියා සිටියේය.