අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර ට තිබෙන ජිවිත තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කණ්ඩායම ඉදිරිපත් කර තිබෙන රහසිගත වාර්තාව ලබන 29 දා අධිකරණයට ඉදිපත් කරන ලෙස අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද ( 9) අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිනි.
තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් දැනට ලබාදී තිබෙන ආරක්ෂාව දැඩි කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මෙම පෙත්සම ගොනුකර තිබිණි.
දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
පෙත්සම් විභාගය අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා රිය අනතුරකට ලක් කොට ඝාතනය කිරීමේ සූදානම පවතින බවට තොරතුරු ලැබී ඇතැයි වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීයේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන බව කියා සිටියේය.
ඒ අනුව ඔහුට දැනට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට මේ වනවිට ඔහුගේ නිවසේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවත් ගමන් බිමන් කටයුතු සඳහා තවත් නිලධාරීන් හතර දෙනකු යොදවා තිබෙන බවත් දැනුම් දුන්නාය.
මෙම නිලධාරීන් හය දෙනාම ආයුධ සන්නද්ධව සේවයේ යෙදී සිටින බවත් රජයේ නීතිඥවරිය පැවසුවාය.
එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයාට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය අනුව මෙම ආරක්ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.
ඔහුගේ ගමන් බිමන් කටයුතු සඳහා ආරක්ෂාවට පොලිස් යතුරුපැදියක් ලබාදී තිබුණද එය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණි.
පෙත්සම්කාර ශානි අබේසේකර ට තිබෙන තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබෙන රහසිගත වාර්තාව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.







