කොළඹ – දිලංගා ගෝමස්
ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සහා ටෙන්ඩර් කොන්දේසි කඩකරමින් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අයිස් යන්ත්රාගාරය සහා ශීතාගාර අලුත් වැඩියා කර පවත්වාගෙන යෑම සහ නව කැට අයිස් යන්ත්රාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ලබා දී ඇති ටෙන්ඩරයේ සිදුවී ඇතැයි පැවසෙන වංචාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පසුගියදා (15) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැවසුවේය.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පතුරු අයිස් යන්ත්රාගාරය, ශීතාගාර අලුත් වැඩියා කර පවත්වාගෙන යෑම සහ නව කැට අයිස් යන්ත්රාගාරයක් ඉදිකර පවත්වාගෙන යෑමට 2018 වර්ෂයේ දෙසැම්බර් 14 වන දින සිට 2019 වර්ෂයේ ජනවාරි 15 දක්වා අතර කාලය තුළ ටෙන්ඩර් කැඳවීය. අනතුරුව වැඩිම ලංසුව ඉදිරිපත් කළ සිලොන් ෆිෂ් මාර්කට් ගෲප් පුද්ගලික සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබිණි. ඒ අනුව 2019 වර්ෂයේ පෙබරවාරි 01 වෙනිදා සිට 2029 වර්ෂයේ ජනවාරි 31 වැනිදා තෙක් කාලය සිලෝන් ෆිෂ් මාර්කට් ගෲප් සමාගමට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මෙම ඉදිකිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දුන්නේය.
මෙම ටෙන්ඩරයේ කොන්දේසීන්ට අනුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් තෝරාගනු ලබන සැපයුම්කාර සමාගම විසින් ටෙන්ඩරය මිලදී ගත් පළමු මාස තුනක (03) කාලය තුළ අක්‍රීයව පවතින පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අයිස් යන්ත්රාගාර තුන අලුත්වැඩියා කිරීමටත්, සිව්වෙනි මාසයේ සිට මාස හයක කාලය තුළ නව පතුරු අයිස් යන්ත්රාගාරයක් ඉදිකිරීම හා පවතින අයිස් යන්ත්රාගාර අලුත් වැඩියා කිරීමත් සිදුකළ යුතුව තිබුණි. අනතුරුව මාසික බදු කුලියක් ගෙවමින් වෙළෙඳසල තුළ සිය ව්‍යාපාර කටයුතු කරගෙන යා යුතුව තිබිණි.
එහෙත් සිලෝන් ෆිෂ් මාර්කට් ගෲප් නමැති සමාගම විසින් රුපියල් හතළිස් තුන් ලක්ෂයක මුදලක් වැය කර ශීතාගාර තුන පමණක් අලුත් වැඩියා කිරීම කළේය. අනතුරුව මේ තාක් අනෙකුත් එකදු කොන්දේසියක් හෝ සම්පූර්ණ කිරීමට සමත් වී නොමැත.
ටෙනඩරය සම්බන්ධ සමාලෝචනය
මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයා බැලීමට 2019 අගෝස්තු 02 වැනි දා ටෙන්ඩර් කමිටුව රැස්වූ අවස්ථාවේ දී සිලෝන් ෆිෂ් මාර්කට් ගෲප් සමාගම ටෙන්ඩර් ගිවිසුම සකස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන පවා ඉදිරිපත් කර නැති බවට නිරීක්ෂණය වී ඇත.
එමෙන්ම ටෙන්ඩර් කොන්දේසීන්ට අනුකූලවන පරිදි පතුරු අයිස් යන්ත්‍රාගාරයේ අලුත් වැඩියා කිරීමට හෝ අයිස් යන්ත්රාගාරයක් ඉදිකිරීමටද පියවර ගෙන නොතිබිණි. එසේම බදු මුදල් ගෙවීම ද නිසි පරිදි සිදුව නැති බවත් ටෙන්ඩර් කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි සංජය මහවත්ත අධිකරණයට කීවේය.
මෙවන් තත්ත්වයක් හමුවේදී සිලොන් ෆිෂ් මාර්කට් ගෲප් සමාගම 2019 වර්ෂයේ සැප්තැම්බර් 19 වෙනිදා ධීවර අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් යවන්නේය. ඔවුන් පවසන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනි යෝජනා තුනක් ඉදිරිපත් කර ඇති බවය. ඒ අනුව තමන්ට රුපියල් අටලක්ෂ තිස්පන්දහසක (රු.835000 ක) මාසික කුලියක් ලබාදිය නොහැකි බවද, තමන් අයිස් ශීතාගාර අලුත්වැඩියා කර ගනිමින් පමණක් මෙය කරගෙන යන බවද ඒ වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක කුලියක් ලබාදිය හැකි බවද අවධාරණය කළේය.
අයිස් යන්ත්රාගාරයක් අලුතින් ඉදිකිරීමට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක ඉඩකඩ ගත යුතුව ඇති මුත් ඒවායෙහි අයිතිය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අයිස් යන්ත්රාගාරයක් අලුතින් ඉදිකිරීමට නොහැකි බවත් එම ලිපිය මගින් සමාගම පෙන්වා දී තිබිණි.
එමෙන්ම ටෙන්ඩරයට අනුව මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ අයිස් කැට අලෙවි කිරීමේ පූර්ණ අයිතිය තම සමාගම සතු වූවත් විවිධ බාහිර අලෙවිකරුවන් අයිස් කැට අලෙවි කරන බවත් එසේම වෙළෙඳුන් ශීතාගාර සඳහා මසුන් යොමු කිරීම, ශීතාගාර සහිත ලොරි රථ සහ වෙළෙඳුන්ගේම ශීතාගාර පවත්වාගෙන යාම මත අඩාල වී ඇති බවත් මෙමගින් තමන්ට පාඩුවක් සිදුවන බවත් සමාගම කීවේය.
එසේම අයිස් යන්ත්රාගාරයක් අලුතින් ඉදිකර, පවතින යන්ත්රාගාරය ද පිළිසකර කර අයිස් ටොන් දහයක් නිෂ්පාදනය කළ හැකි නම් මාසිකව රුපියල් ලක්ෂ හතරක කුළියක් ලබා දිය හැකි බවත්, මාසිකව අයිස් ටොන් විසි පහක් නිෂ්පාදනය කර අලෙවි කළ හැකි නම් මාසිකව රුපියල් හය ලක්ෂ තිස් පන්දහසක කුලියක් ලබාදිය හැකි බවත් මෙම යෝජනා තුනෙන් එකක් තෝරා ගෙන ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙසත් සමාගම ධීවර ලේකම්ගෙන් ඉල්ලා සිටියේය.
ටෙන්ඩර කොන්දේසි නැමුණු හැටි
සාමාන්‍යය ක්‍රමවේදයට අනුකූලව ටෙන්ඩරය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් තුළදී ඊළඟට සිටින දෙවැනි වැඩිම ලංසූ ඉදිරිපත් කළ සැපයුම්කරුට ටෙන්ඩරය පිරිනැමි යුතුය. නොමැති නම් නව ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් සුදුසු ආයෝජකයෙකු තෝරාගත යුතුය.
එසේ තිබිය දී ධීවර අමාත්‍යාංශයේ බලධාරීන් විසින් මෙම සමාගමේ යෝජනාවන් ගැන අවධානය යොමු කර මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය අමු අමුවේම උල්ලංඝනය කර ඇතැයි සංජය මහවත්ත පෙන්වා දුන්නේය.
ඒ අනුව අටලක්ෂ තිස් පන්දහසක මාසික බදු කුලියක් ගෙවීමට එකඟ වී ඇති මෙම සමාගම බදුකුලිය රුපියල් ලක්ෂ දෙකකට අඩු කරගෙන අනීතික අන්දමින් ටෙන්ඩරය පවත්වාගැනීමට කටයුතු කර ඇති අතර අනීතික අන්දමින් ටෙන්ඩරය පවත්වාගෙන ගියද අදාළ සමාගම නිසි පරිදි රුපියල් ලක්ෂ දෙකක බඳු කුලිය හෝ නොගෙවා මේ වනවිට රුපියල් විසි හය ලක්ෂයක මුදලක් ගෙවීමට ගොඩ ගැසී ඇත.
එසේම ලක්ෂ ගණනක මුදලක් ජල බිල්පත් සඳහා ගෙවිය යුතු මුත් අදාළ සමාගම එම ගෙවීම් ද නිසි පරිදි සිදුකර නැත.
තත්වය එසේ පැවතියදී සිලොන් ෆිෂ් මාර්කට් ගෲප් සමාගමේ වත්මන් අධ්‍යක්ෂක කපිල බාලසූරිය විසින් රුපියල් මිලියන 320 ක් වැය කර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අයිස් නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් රුපියල් ලක්ෂ දෙකක හෝ මාසික බදු මුදලක් ගෙවීමට අපොහොසත් වී ඇති සමාගමක් එවන් මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් කිරීම විහිළුවක් බවත් සංජය මහවත්ත පෙන්වා දෙයි.
ටෙන්ඩර් කොන්දේසි හෝ තීරණ හෝ එකඟතා කඩකිරීම කිසිදු ආකාරයකින් සිදුකළ නොහැකි තත්ත්වයක මෙම සමාගම විසින් ධීවර අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව සිදු කරගෙන යන මෙම නීති විරෝධී ක්‍රියාවලිය පිටුපස මහාපරිමාණ අයථා ගනුදෙනුවක් ඇත්ද යන්නත් මෙම ක්‍රියාව පිටුපස ඇති වංචනික ගනුදෙනුව කුමක්දැයි අනාවරණය කර ගැනීම හා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන් ගේ යුතු කමක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.







