දැනට ලංකාවේ පැවති පුද්ගලික උත්සවයක් මුල් කරගෙන වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති වේයන්ගොඩ මංගලෝත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයන් 38 දෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මෙතෙක් උඩුගම්පොල මනමාලයාගේ පාර්ශවයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් 93දෙනාට අමතරව අඹන්පොල මනමාලියගේ පාර්ශවයෙන් මේ 38 දෙනා හමුවීමත් සමග මගුල් ගෙදරට සහභාගී වූ ආසාදිතයන් ගණන 131 දක්වා වැඩි වී තිබේ.
පසුගිය 26 වැනිදා වේයන්ගොඩ කොට්ටල පාරේ උත්සව ශාලාවක පැවති මේ මගුල්ගෙදරට සහභාගී වී සිටි පිරිස 250ක් බව වාර්තා වේ. ඉන් දැනට 131 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
එම මංගල උත්සවයට සහභාගි වූ අඹන්පොල තවත් පවුල් 44ක් නිරෝධායනය කර ඇතැයි අඹන්පොල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තහවුරු කරයි.
අඹන්පොල කොවිඩ් ආසාදිත 38 දෙනා අතරේ මාස හතක දරුවෙක්, අවුරුදු එකක දරුවෙක්, හා ගර්භණී මවක්ද සිටිති. ඒ අතර පාසල් සිසුන් තිදෙනෙක් ද සිටින බව එම තොරතුරු වාර්තා කරයි. අඹන්පොල දකුණ, ඉහළ උඩංගාව , මෙනේරියාය, බොරවැව, අමුණුගම , දිගන ගම්මානවලින් මෙම රෝගීන් හමුවී ඇති අතර එම ගම්මානවල නිවාස නිරෝධායනය ට ලක් කර තිබේ.







