මනම්පිටිය නිමල් ජයරත්න
-
භූමිය අපේ… යෙදවුම් අපේ… දැනුම සහ තාක්ෂණය අපේ… ශ්‍රමය අපේ… අපේ අස්වැන්න තුට්ටුවට දානව කියන්නේ අපේ ජීවිත තුට්ටුවට දාන එක… මේ අපරාධය වෙන්න ඇරියොත් මාස දෙකකට පස්සේ ආන්ඩුවටම ප්‍රතිඵල බලා ගන්න පුලුවන්…. මහවැලි ගොවීහු අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවට දන්වති.
වී කිලෝවක් විකුණා බුලත්විටක්වත් ගත නොහැකි තත්ත්වයකට පත් වී අන්ත අසරණ තත්ත්වයට වී ගොවීන් පත්ව ඇති බවත් රුපියල් එකසිය පනහක සහතික මිලක් වී කිලෝවක් සඳහා නියම නොකළොත් මහවැලි බී කලාපයේ මහවැලි කොට්ඨාස අටක ගොවි සංවිධාන සීයකට වැඩි ප්‍රමාණයක් ඒකරාශී කර ගනිමින් වී සඳහා සහතික මිලක් නියම කරන තෙක් දැවැන්ත අරගලයක් සිදුකරන බවත් මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු උපසභාපති ඩබ්ලිව්.ජී.තිලකරත්න දිඹුලාගල ඇල්ලේවැව කෙත් යායේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (01) දිනයේ යලිත් අවධාරණය කළේය.
මේ මිනිසුන් මොරගා කියන්නේ අවු වැසි නොතකා මහ පොළොව හා ගැටෙමින් දරුවෙක් රැක ගන්නා සේ රැක බලාගෙන ඇති දැඩි කළ ගොයමේ අස්වැන්න මේ තරම් බාල්දු නොකරන ලෙසය.
දරුවන්ගේ පංචායුධය පවා බැංකුවට උකස්කර කළ ගොවිතැනේ දී වී කිලෝවක් නිශ්පාදනයට රුපියල් 110කට වඩා ඉහළ මිලක් වැයවී ඇති පසුබිමක නාඩු කිලෝවක් රුපියල් 95ක මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 100ක මිලකටත් විකුණන්ට සිදුවී ඇත්තේ රජය පාර්ශවයෙන් වී මිලදී ගැනීමක් හෝ කිසිම මිල පාලනයක් ඇති නොකර මහ මෝල්ලු කීප දෙනෙකුට සමස්ථ මහවැලි ගොවි ප්‍රජාවම හූරා කන්නට ඉඩ දී බලා සිටිද්දී බවය.
වැඩි මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් කීරි සම්බා වී වගා කරපු ගොවීන්ගේ වී මිලදී ගැනීමට පෞද්ගලික අංශ පවා මැළවීම හේතුවෙන් එම ගොවින්ට යන එන මං නොමැති බවද ගොවීහු පවසති.
මහවැලි බි කලාපයේ ගොවිපවුල් 25,000 ක් අක්කර 65,000 කට ආසන්න ප්‍රමාණයක් මෙවර යල කන්නයේ වී වගා කර තිබෙන අතර එම ගොවීන්ගෙන් වැඩි පිරිසක් යල කන්නයේ වී වගා කිරීමට බැංකුවලට ණය වී ඇති බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු උපසභාපති ඩබ්ලිව්.ජී.තිලකරත්න පෙන්වා දෙයි.
“වී කිලෝවක් විකුණා බුලත් විටක්වත් ගන්න බෑ… ලුණු පැකට්ටුවක්වත් ගන්න බෑ… අපේ අස්වැන්න ඒ තරම් තුට්ටුවට දාලා… අපේ වී අස්වැන්නට සහතික මිලක් බැරිනම් සාධාරණ මිලක් දෙන්න… ඡන්දයට පෙර රජය මේ කටයුත්ත නොකලොත් පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ ගොවිජනතාව එක්ව රජයේ නියෝජනය කරමින් ඡන්දය ඉල්ලා ගමට එන සංවිධායකයින්ට හතර මායිමට එන්න දෙන්නෙ නෑ… පන්නලා දානවා… වී මිල කියන්නේ අපේ ජීවිතේ… අපි ජීවත් වෙනවද නැද්ද කියන සාධකය තමයි වී මිල. සාධාරණ මිලක් ලබා දෙන්න බැරිනම් අපි මේ සටන අත් හරින්නෙ නෑ… මේක අපේ ජීවිතය හෝ මරණය සම්බන්ධ ප්‍රශ්නයක්…” ගොවි සංවිධාන නායකයෝ අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළහ.

“අද අපෙන් රුපියල් 90 ට 100 ට ලබාගන්නා වී තව මාස කිහිපයකින් සහල් බවට පත්කර අතරමැදියන් හා මහා පරිමාණ වීමෝල් ව්‍යාපාරිකයින් අති විශාල ලාභයක් ගන්නවා… මේ වනවිට පොළොන්නරුවේ ජීවත්වන අපටත් කීරි සම්බා කිලෝ එකක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් 360 ක් 380ක් වැනි මිලකට… මේ ශ්‍රමය අපේ… මේ බිම් අපේ… මේ තාක්ෂණික දැනුම අත්දැකීම් අපේ. අපේ නිශ්පාදනය තුට්ටුවට දානවා කියන්නේ අපේ ජීවිත තුට්ටුවට දානවා කියන එක. ආණ්ඩුව මේ අපරාධය කළොත් මේකේ ප්රතිවිපාකය තව මාස දෙකකින් ලැබෙයි…”
මහවැලි ගොවීන් කියන්නේ එවැනි කතාවකි.







