මනම්පිටිය නිමල් ජයරත්න –
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සේවකයින් විසිපස් දෙනෙකු සඳහා මුදල් ලබාදෙන දීමට බව පවසමින් දෙසැම්බර් මාසයේ තම කැමැත්ත මත වැටුපෙන් අඩු කරගත් මුදලේ එකතුව වූ රුපියල් 7,20,000 ක මුදල එම සේවකයින්ට,ඩිපෝවේ නිලධාරීන් විසින් මෙතෙක් ලබාදී නොමැති බවට පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරු චෝදනා කරති.
මෙම සුළි කුණාටුවෙන් ලංගම ඩිපෝවේ සේවකයින් විසි පස්දෙනෙකු අසරණවූ බව පවසා, දැන්වීම්කර දෙසැම්බර් මාසයේ වැටුපෙන් එක් සේවකයෙක්ගෙන් රුපියල් 1200 ක මුදලක් අඩුකර ගත් බවත්, ඒ අනුව සේවකයින් හයිසීයකගෙන් 1200 කින් රුපියල් 7,20,000 ක මුදලක් අඩු කරගත්තද, සුළි කුණාටුවෙන් පීඩාවට පත් සේවකයින් විසිපස්දෙනාට රුපියල් දෙලක්ෂ පනස්දාහක මුදලක් ලබාදී ඇත්තේ ඩිපෝවේ සේවක සුබ සාධන අරමුදලින් බවත් කොන්දොස්තරවරුන් සහ රියදුරන් සඳහන් කරති.
දිට්වා සුළි කුනාටුව නිසා පොළොන්නරුව ලංගම ඩිපෝවේ සේවකයින් විසි පස්දෙනෙකුගේ නිවාස සහ ඔවුන්ගේ දරුවන්ගේ සම්පත් අහිමි වී ඇති බවට පවසා, ඔවුන්ට සරණක් වීමට මාසික වේතනයෙන් රුපියල් 1200 ක මුදලක් පරිත්‍යාග කරන ලෙසට ඩිපෝවේ කළමනාකාරවරයාගේ අත්සනින් යුත් දැන්වීමක් නිකුත් කර තිබිණි.
ඩිපෝවේ සුබ සාධන අරමුදලෙන් රුපියල් දහදාහක මුදලක් පමණක් අසරණ වූ පිරිසට ලබා දී ඇති නමුත් දෙසැම්බර් මාසයේ තම වැටුපෙන් අඩුකරගත් මුදලට වෙච්චි දෙයක් නොමැති බවද පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරු චෝදනා කරති.
අප මේ පිළිබඳව පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරු, බී.ඒ. ප්‍රේමසිරිගෙන් දුරකතනයෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ, කොන්දොස්තරවරුන්ගෙන් සහ රියදුරන්ගෙන් වැටුපෙන් අඩු කරගත් මුදල්, එලෙසම තිබෙන බවත්, පීඩාවට පත් සේවකයින් 25 දෙනාට මුදල් ලබාදීමට සේවකයින්ගේ යම් යම් විරෝධය පළ වූ නිසා, ඩිපෝවේ සුබ සාධන අරමුදලින් සේවකයින් 25 දෙනාට රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කළ බවත්ය.
තදුරටත් රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරුන්ගෙන් විරෝධය පළ වුවහොත් සේවක වැටුපෙන් අඩුකර ගත් 1200 මුදල ඔවුන්ගේ ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.







