පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහිත සමස්ථ පාර්ලිමේන්තු මහජන නියෝජනය විගණනය කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.
ගෝල්ෆේස් ජන අරගලයෙන් එළි දකින්නට නියමිත ගෝල්ෆේස් ප්‍රකාශනයට සම්බන්ධ මූලික අදහසක් වූ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන් විගණනයට ලක් විය යුතුය යන්න පූර්ණ එකඟතාවයට යටත්ව එයට නෛතික වලංගුතාවයක් ලබා දීමට මෙම මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවට රැගෙන එන්නෙ මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් හෝ ආණ්ඩුවක් මෙවැනි අදහසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ නිසා බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු කියන්නේ මෙම විගණනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විෂයෙහි සීමා නොකර සංස්ථා සභාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයන් දක්වා වලංගු විය යුතු බවය.
සෑම අන්තයකින්ම අතිශය දූෂිත රාජ්‍යයක අතාර්කික වත්කම් උපයා ගැනීම් වළක්වා ගත හැක්කේ සමස්ථයට වලංගුවන විගණනයක් සිදුකිරීමේ නෛතික පදනමක් සකසා ගැනීමෙන් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
වාර්තාවන ආකාරයට මේ වනවිට “විගණනය මගෙන් පටන් ගන්න“ තේමාව තරුණ පාර්ලිමේන්තු නියෝජිතයන් අතර පැතිරී යන බවත්, එසේ කිව හැකි විශාල පිරිසක් මේ වනවිට විගණනය සඳහා සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇති බවත් ඔහු කීවේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, වීරසුමන වීරසිංහ ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් තමන්ව විගණනය කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් වී සිටිති.







