දිනසේන රතුගමගේ
වවුනියාව නගරය ආශ්‍රිතව ජීවත් වන වැසියන් 2000 කට අධික පිරිසකගෙන් ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිපල සියල්ලම ලැබෙන තුරු වවුනියාව නගරය හුදෙකලා කොට වසා තැබීමට වවුනියාවේ කොවිඩ් 19 පැතිර යෑම වැළැක්වීමේ කමිටුව අද ( 12) දහවල් තීරණය කොට තිබේ.
ඒ අනුව වවුනියාවේ රජයේ කාර්යාල විවෘතව පවතිද්දී නගරයේ පාසල් හා වවුනියාව දකුණ කලාපයේ පාසල් නැවත දැණුම් දෙන තුරු වසා තැබීමටත් මේ සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
කමිටුවේ ප්‍රධානී සහ වවුනියාව දිසාපති සමන් බන්ධුලසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට පළාතේ ආගමික නායකයින් මන්ත්‍රීවරුන් ආරක්ෂක ප්‍රධානීන් සෞඛ්‍ය ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් සහභාගී වූහ.
ගත වූ දින කීපය ඇතුළතදී වවුනියාව දිස්ත්‍රික්කයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර පාසල් ළමුන්ටද කොරෝනා රෝගය වැළදී තිබේ.
මේ තත්ත්වය මර්ධනය කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහා දිසාපතිවරයා විසින් මේ සාකච්ඡාව කැඳවා තිබුණි.
වවුනියාව නගරයට ඇතුළු වන සියළුම මාර්ග මේ කාලය ඇතුළතදී වසා තැබෙන අතර නගරයට ඇතුළු විය හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරීවල යෙදෙන නිලධාරීන්ට හා අත්‍යවශ්‍ය කාරණාවකදී පමණකි.
වවුනියාව නගරයට ඇතුළු වන මාමඩුව හන්දිය, තාණ්ඩිකුලම් හන්දිය, නෙළුකුලම් හන්දිය, මුණ්ඩිමුරුප්පුව හන්දිය, පූන්තොට්ටම් හන්දිය යන සියළුම ස්ථාන වසා දමා ඒවායෙහි ආරක්ෂක මුර කපොලු මේ කාලය හමාර වන තුරු යෙදවීමට තීරණය කොට තිබේ.