දිනසේන රතුගමගේ –
වවුනියාව මුණ්ඩිමුරුප්පුව ගුණානන්ද විද්‍යාලයට කඩා වැදුණු වඳුරු රංචුවක් සිසුන් පිරිසකට සපා කෑම නිසා සිසුන් දෙදෙනෙකු ඊයේ ( 15) තුවාල ලබා තිබේ.
තුවාල ලත් සිසුන් දෙදෙනාව වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී තිබේ.
විදුහල්පතිනිය වවුනියාව දිසාපතිවරයාට ප්‍රකාශ කොට තිබුණේ මෙම වඳුරු රංචුව කාලයක සිට මෙම පාසලේ සිටින බවත් ඔවුන් කිසියම් පිරිසක් විසින් ගෙනැවිත් මේ ස්ථානයට මුදා හැර ඇති බවට ගම්වාසීන් චෝදනා කරන බවත්ය.
වඳුරන් රංචුව පැමිණි දා සිට ගුරුවරුන් හා සිසුන් පිටුපස එලවා ගෙන ගොස් ඔවුන්ව බිම දමාගෙන සපා කන බව කී විදුහල්පතිනිය වාර කීපයක්ම තමන්ද මේ වඳුරන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් කළාය.
පාසලේ මෙම වඳුරු උවදුර පිළිබඳව විදුහල්පතිනිය විසින් දිසාපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව වන ජීවී නිලධාරීන් පාසල වෙත ගොස් වඳුරන් පලවා හැර වඳුරන් නැවත් පැමිණියහොත් එලවීම සදහා එම පාසලට අලිවෙඩි බෙදා දී ඇත.
නමුත් වන ජීවී නිලධාරීන් පවසන්නේ වඳුරන් හා රිලවුන් නව වනජිවී පනතට අනුව තම දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි.
කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පාසල් පිළිබඳව දැඩි අවධානයකින් සිටින අතර දිසාපතිවරයාගේ ඉල්ලීම මත මුණ්ඩිමුරුප්පුව ගුණානන්ද විද්‍යාලයට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව සපයා දී සිසුන් මේ වඳුරු රංචුවේ ප්‍රහාර වලින් බේරා ගනීමට කටයුතු කොට තිබේ.