රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී ඇත.
හිටපු බන්ධනාගාර බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එක් රැඳවුම්කරුවෙකුගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බැවින් මේ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණය සිදුකර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (16) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබිණි.
එම පැමිණිල්ල මගින් ඔවුන් කියා සිටින්නේ මෙලෙසින් පිස්තෝලයක් භාවිතා කරමින් මරණ තර්ජනය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අංක 1966 අංක 18 දරන ශ්‍රී ලංකා ආයුධ පනත ට අනුව වරදක් බවයි.
එමෙන්ම රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් මෙවැනි සිදුවීමක් නොවූ බවට ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා ප්‍රකාශ කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අය ද මෙම සිදුවීම වසන් කිරීමේ චෝදනාව පිට අත්අඩංගුවට ගෙන්නා ලෙස පැමිණිලිකරුවන් ඉල්ලා තිබිණි.