බිමල් ශ්‍යාමන් ජයසිංහ –
ගාමිණී ලොකුගේ බලශක්ති ඇමතිවරයාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ යැයි කියන එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ නියෝග කළාය .
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පිළියන්දල මාවිත්තර ගම්මාන – පාර පදිංචිව සිටි යුද හමුදාවේ විශ්‍රාමික කිමිදුම් සෙබල කනියප්පුලිගේ නන්දන තුෂාන්ත පිරිස් (52) ( පියා ) , තෙල් ගේ නිරෝෂණී රූපිකා පිරිස් ( මව) (46) ඔවුන් දෙපළගේ පුතුන් දෙදෙනා වන තනියප්පුලිගේ නිරෝෂ් නිලුපුල් පිරිස් (21) හා යුද හමුදාවේ විශේෂ කාර්ය බලකායේ සේවය අත්හැර ගිය තනියප්පුලිගේ සමීර සම්පත් පීරිස් නොහොත් බොක්සර් (25) නැමැති එකම පවුලේ සිව් දෙනාය .
අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කිරීම සම්බන්ධ කතාවක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු ව ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද පුද්ගලයා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය .
සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල , කළුබෝවිල ගල්කිස්ස හා මාවිත්තර ප්‍රදේශ වලිනි.
අපරාධය සඳහා යොදාගත් සුදු යකඩ කඩුවක් ,අපරාධ සිදු කිරීම සඳහා යොදාගත් පිහිය සහ බිඳී ගිය වීදුරු බෝතලයක කොටස් ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි .
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තගේ සෘජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් හා සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළහ .
ලංකාදීප –







