වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ගේ ඝාතකයින් අත් අඩංගුවට ගැනීම සඳහා අද (26) අළුයම කැකිරාව නිවාස පනහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර පලා ගිය සභාපතිවරයා ඝාතනය කළ කුලී ඝාතකයා මහරගම නාවින්න ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ නාවින්න ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී ය.
අද අළුයම කැකිරාව නිවාස 50 ප්‍රදේශයේ දී සිදුකළ වැටලීම අතර මෙසේ පලා ගොස් තිබුණේ කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරණලියනගේ නුවන් තාරක නැමැත්තෙකි. මේ පුද්ගලයා පලා ගොස් තිබුණේ පොලිස් නිලධාරියෙක් සමග පොරබදා ඔහුට ද තුවාල කරමිනි.
එම අවස්ථාවේදීම පොලිසිය මෙම කුලී ඝාතකයා පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඔහුගේ ඡායාරූප සහ විස්තර ද මාධ්‍ය ඔස්සේ පලකරනු ලැබුවේය.
මෙම වැටලීමේ දී අත් අඩංගුවට පත් කාන්තාව ඝාතකයාගේ බිරිය වූ අතර අනෙක් පුද්ගලයින් අතර පැදිකරු ද විය.
පිරිසට නවාතැන් පහසුකම් දුන් පුද්ගලයෙක් ද ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ගාල්ලේ හියාරේ දී ත්‍රී රෝද රථ රියදුරෙක් ද අත් අඩංගුවට ගෙන ඇත.







