ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව යටතේ හඳුන්වා දී ඇති ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (VRS) යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2,200ක් ලංකා විදුබල මණ්ඩලය අහෝසි වීමට නියමිත දිනය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හේතුවෙන් බරපතල අර්බුදයකට පත් වී සිටිති.
තමන් මුහුණ දී සිටින දැඩි ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා (16) දාතමින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන මෙම සේවකයින් සාමුහිකයක් ලෙස පෙන්වා දෙන්නේ ඔවුන් වෙත ලබා දුන් නිශ්චිත කාල රාමුව තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට තීරණය කළේ තම ඉදිරි ජීවිත සැලසුම් ද සහිතව බවය.
එහෙත් නිශ්චිත දිනයක් ප්‍රකාශ නොවී විදුලි බල මණ්ඩලය අහෝසිවීම දිනෙන් දිනම කල් යෑම හේතුවෙන් තමන් දැඩි වියවුලකට පත් වී ඇති බවත් ලං.වි.ම අහෝසිවන නියමිත දිනය ප්‍රකාශ කරන තුරු තමන්ට මණ්ඩලයෙන් ඉවත් වී සැලසුම් කළ ජීවිතය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ඔවුහු ජනාධිපතිවරයා වෙත පෙන්වා දෙති.
විදේශ රැකිය ලබා ගැනීමේ අරමුණින් නීත්‍යානුකූල විදේශ රැකියා ඒජනස් සමග ගිවිසුම් ගතවී විශාල මුදලක් වැය කර රැකියා ලබාගෙන ඇති පිරිස් සඳහා රැකියා සඳහා පිටත්වීමට දින නියම කර ඇති අවස්ථාවලදී ඒ සඳහා පිටත්වීමට නොහැකි වීම හේතුවෙන් ආයෝජනය කළ මුළු මුදලම නැතිවී යෑමේ අවදානම ගැන ඔවුහු ජනපති වෙත ලියති.
එමෙන්ම පවුල සමගම විදේශගත වීමට සැලසුම්කළ පිරිස්වලට සැමියා හෝ බිරිය රටෙහි දමා දරු පවුල විදේශගත වීමට සිදුවී ඇති ආකාරයත්, ව්‍යාපාර කිරීමේ අරමුණින් ව්‍යාපාරික ස්ථාන කුලියට ගෙන අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සඳහා ණය පහසුකම් ලබා ගත් පුද්ගලයින්ට සිය සැලසුම් දියත් කිරීමට නොහැකි වී ඇති ආකාරයත් මේ තත්ත්වය හේතුවෙන් ඇති වූ ආතතිය මත ඇතැමෙක් රෝගී වී ඇති ආකාරයත් මේ සේවක සාමුහිකය ජනාධිපතිවරයා වෙත දන්වා සිටිති.
ලං.වි.ම අහෝසි කිරීම සඳහා නියමිත දිනය ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය සියළු කටයුතු අවසන් කර ඇති බව විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් ද දැනුම් දී ඇති බව පෙන්වා දෙන සේවක පිරිස් ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ බලශක්ති අමාත්‍යවරයා විසින් නියමිත දිනය ප්‍රකාශයට පත්කිරීම පමණක් බව කියති.
ලං.වි.ම අහෝසි කිරීමේ දිනය ලෙස මුලින්ම ප්‍රකාශ වී තිබුණේ 2026 ජනවාරි 01 දා බවත් අනතුරුව එම දිනය 2026 පෙබරවාරි 01 දිනට කල් ගිය ද ඒ දිනය සම්බන්ධව ද නිශ්චිත තහවුරුවක් නොමැති හෙයින් සේවකයින් පත් වී ඇති අසරණ ස්වරූපය සම්බන්ධව සලකා බලා ලං.වි.ම අහෝසි කරන දිනය 2026 පෙබරවාරි 01 ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
සේවකයින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.








