ශ්‍රි ලංකාව පත්ව ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ එය මුදවා ගැනීමට අදාළ සාකච්ඡා හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බවත් රටේ පත්වන ඊළඟ නායකයාට සහයෝගය සහ නායකත්වය සඳහා ආයුෂ තිබෙන තාක් ඕනෑම රජයක් සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජොර්ජියේවා පවසයි.
ජපානයේ නික්කෙයි ඒසියා වෙබ් අඩවිය වෙත ඇය මෙම අදහස් දක්වා ඇත්තේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මෙම අර්බුදය මැද සිය අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට පැය කිහිපයකට මත්තෙන් වීමද විශේෂත්වයකි.
ඇය එහිදී තවදුරටත් පවසා තිබුණේ ශ්‍රි ලංකාවේ ජනතාව මේ වනවි මුහුණ දෙමින් සිටින අතිශය කණගාටුදායක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද දැඩි සේ කණස්සල්ලට පත් වන බවය.
ඇය එහිදී තවදුරටත් පවසා තිබුණේ පවතින රජය සමඟ හොඳ පසුබිමකින් යුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා පවත්වාගෙන යන බවය. එම සාකච්ඡා තවදුරටක් අඛණ්ඩව ගෙන යා හැකි බවට විශ්වාසය පළ කරන මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ වනවිට ශ්‍රි ලංකාවේ බලධාරීන් සමඟ සිදු කළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ද සතුටුදායක තත්ත්වයක පවතන බව මෙම වෙබ අඩවිය සමඟ පවසා ඇත..
“ණය ආධාර වැඩ සටහන සඳහා අපට තිරසාර මූල්‍ය සහතිකයක් අවශ්‍යයි. එය හදිසියේ නොවුණත් ඊට විශ්වාසදායී වැඩපිළිවෙළක් අවශ්‍යයි. පත්වන අලුත් රජයට ශ්‍රි ලංකාවට පෞද්ගලිකව සහ ද්වීපාර්ශ්විකව ණය ලබා දුන් ණය හිමියන් සමඟ සාර්ථක එකඟතාවකට පත් වීම සඳහා විශාල කාර්යභාරයක් පැවරෙනවා“ ඇය අවධාරණය කර ඇත.







