ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් රැසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇතැයි එජපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ සඳහාවන මූලික සාකච්ඡා විපක්ෂයේ පක්ෂ සමග මීට මාස හතරකට පමණ ඉහත දී ආරම්භ කළ අතර මේ වනවිට එම සාකච්ඡා පුළුල් වී පොහොට්ටු දේශපාලකයින් පිරිසක් සමග ද සාකච්ඡා අවසන් කර ඔවුන්ට ලබා දෙන පක්ෂයේ තනතුරු සම්බන්ධව එකඟතා ඇතිකරගෙන තිබෙන බව එම ආරංචි මාර්ග සනාථ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, සමගි ජන බලවේගය, ද්‍රවිඩ සහ මුස්ලිම් ක්‍රියාකාරිකයින් පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානම් බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්වන පිරිස අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අදාල පක්ෂවල ප්‍රබලයින්ට එජාප ආසන සංවිධායක ධුර ලබා දීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.
ආසන සංවිධායක තනතුරුවලට අමතරව පක්ෂයේ දැනට පුරප්පාඩු වී ඇති තනතුරු කිහිපයක් ද එලෙස එජාපය සමග එක්වන ප්‍රබලයින්ට ලබා දීමට තීරණවලට පැමිණ සිටින බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් එජාප ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.







