බොන ජලයට විස එක්වීමට විරෝධය පළකරමින් වැලිවේරිය නගරයේ දී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව විසින් 2013 වසරේ අගෝස්තු 01 දා පැවැත්වූ විරෝධතාවක් අතරතුර පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයෙන් තිදෙනෙක් හමුදා වෙඩි පහරින් ඝාතනය වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් එම වෙඩි තැබීමට අණ දුන් බව කියන එවකට බ්‍රිගේඩ්යර් ධූරය දරමින් 142 වැනි බලසේනාධිපති ලෙස කටයුතු කළ හිටපු මේජර් ජනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිද්ධියට චෝදනා ලද සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.
ඒ වසර 11ක දීර්ඝ නඩු විභාගයකින් අමතරව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
‘වෙනිග්‍රොස්’ නැමැති පුද්ගලික කර්මාන්ත ශාලාව පානිය ජලයට විස එක් කිරීමට විරෝධය පළ කළ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් සිදුකළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ගැමියන් 37 දෙනෙක් තුවාල ලබා තිබුණි.
අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් 142 වැනි බලසේනාධිපති බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.
අද ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය තීන්දු කළේ පැමිණිල්ල විසින් ගොනුකළ අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.







