ජයකාන්ත ලියනගේ – බළපිටිය
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගත් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩිකාවන් සිව් (04) දෙනෙක් ගාල්ල, රත්ගම ගා/දේවපතිරාජ ජාතික පාසැල නියෝජනය කළ ක්‍රීඩිකාවන්ය.
එම ක්‍රීඩිකාවන් පිළිගනිමින් ඔවුන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්යක්ෂ සම්පත් ජයසේන, දේවපතිරාජ ජාතික පාසැලේ විදුහල්පති කේ සෑම් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (31) විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඩබ්ලිව් කවීෂා දිල්හාරි, ජී පී සචිනි නිසංසලා, එච් ජී කාව්‍යා කාවින්දි හා ඩබ්ලිව් ශෂිනි ගිම්හානි මෙසේ උපහාරයට ලක් වූ ක්‍රීඩිකාවන්ය.
කවීෂා දිල්හාරි, නයාගොඩ රත්ගම පදිංචි තරුණියකි. අතර දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 2020 වසරේ නායකත්වය දරා ඇත. රත්ගම හන්දිය, රත්ගම පදිංචි සචිනි නිසංසලා 2021 වසරේ විදුහලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ය. වලහන්දූව, ගාල්ල පදිංචි කාව්‍යා කාවින්දි 2022 වසරේ පාසල් කාන්තා කණ්ඩායමේ නායකත්වය දරා ඇත. දැනටමත් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශෂිනි ගිම්හානි ගම්මැද්දේගොඩ රත්ගම පදිංචි කාරියකි. ඇය ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාවය.
අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්යක්ෂ සම්පත් ජයසේන, විදුහල්පති සෑම් ද සිල්වා ප්රමුඛ ආදි සිසුන්, දෙමාපියන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස විසින් මෙම ක්‍රීඩිකාවන් රත්ගම හන්දියේදී මල්මලා දමා පිළිගෙන කැබ් රථයක නංවාගෙන විද්‍යාලයීය තූර්යය වාදක කණ්ඩායම පෙරටුකරගත් අලංකාර පෙරහරකින් විදුහල කරා රැගෙන පැමිණියහ.
විදුහලේ ප්‍රධාන දොරටුව අසලදි මොවුන් නැවතත් පිළිගෙන උත්සව සභාව පවත්වන ලද ප්‍රධාන පීඨිකාවට මහත් හරසරින් මොවුන් කැදවාගෙන පැමිණියහ.
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණය ලැබූ කණ්ඩායමේ ක්‍රිඩිකාවන් තුන් (03) දෙනෙකුම තමන්ගේ විදුහලේ ආදි සිසුවියන් වීමත් එක් අයෙක් තවමත් අධ්‍යාපනය ලබන සිසුවියක් වීමත් තමන්ට මහත් ආඩම්බරයක් බව මෙහිදී අදහස් දැක්වූ විදුහල්පති සෑම් ද සිල්වා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ආසියානු මහාද්වීපය තුල ඉහළට ඔසවා තබමින් රටට මෙන්ම තමන්ගේ විදුහලටත් ගාල්ල දිස්ත්රික්තයටත් ඉමහත් ගෞරවයක් ඔවුන් ලබා දී තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් සදහන් කළේය. මෙම ජයග්රහණයන් පිටුපස සිටි යෝධ හස්තය පුහුණුකරු මහේෂ් සදරුවන් බවද මෙම අවස්ථාවේ ඔහු කෘතවේදීව සිහිපත් කරන බවද විදුහල්පති සෑම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.







