-
වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිසට පහසුකම් සැළසෙන බුද්ධිමත් වැඩපිළිවෙළකට අපි කවුරුත් එළඹීය යුතුයි
-
දැන් මේ රට දුවන්නේ කෘෂිකර්මාන්තයෙන්ම පමණක් නොවෙයි. සංචාරක කර්මාන්තයෙන්ද බොහෝ දෙනෙක් ජීවත් වෙනවා
-
වැව් බැම්ම රැකගන්න අතරම මෙබදු යෝජිත නව වැඩපිළිවෙළ වල වැදගත්කම සම්බන්ධවත් ඉදිරියට සලකා බලන්න සිදුවෙනවා.
-
ආවේගශීලී නොවී කරුණු කාරනා මැනවින් වටහාගෙන කටයුතු කිරීම අප කාගේත් වගකීමයි
පරාක්‍රම සමුද්‍රයත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිසට පහසුකම් සැළසෙන බුද්ධිමත් වැඩපිළිවෙළකට අපි කවුරුත් එළඹීය යුතුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.
ඓතිහාසික උරුමයක් වන පරාක්‍රම සමුද්‍රයත් වැව් බැම්මත් ආරක්ෂා කිරීමේ වගකීම පොළොන්නරුව ජනතාවට පමණක් නොව, ලක්වැසි සියලු ජනතාවට තිබෙන බවත් ගැටලුවක් ඇතිවූ විට ආවේගශීලී නොවී කරුණු කාරනා වටහාගෙන කටයුුතු කිරීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ කීහ.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපානාව මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට යෑම සම්බන්ධවෙන් මතුව තිබෙන ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපාලි අනුනාහිමියෝ මෙසේද පැවසූහ.
“පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආශ්‍රිතව එම ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ සහ සංචාරකයින්ගේ පහසුව පිණිස ඇවිදින මංතීරුවක් ඇති කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැළසුම් කළා. ඒ අවස්ථාවේ විරෝධාතාවක් මතුවූ නිසා එම කටයුුතු මේවන විට නතර වී තිබෙනවා. එබදු මංතීරු සහිත සංවර්ධන කටයුතු තුළින් වැව් බැම්මට හානිකර තත්ත්වයක් උදාවන බව ඇතැම් පිරිස් පවසනවා. එහෙත් ආදළා රාජ්‍ය ආයතන සහ ඒවාහි නියෝජිත මහත්වරු සහ ඉංජිනේරුවරු පවසන්නේ මෙම ව්‍යාපෘතිය මගින් වැවට කිසිදු හානියක් නොවන බවයි.
නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ සහ අදාළ සියලුම ආයතන වල එකඟතාව මතයි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පවා මේ සඳහා අනුමැතිය ලබාදුන් බව අපට දැනගන්න ලැබී තිබෙනවා. කෙසේ වුවත් ගැටලුවක් මතුව තිබෙන නිසා සියලු පාර්ශව එකතුව පුළුල් සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳව ඉදිරි කටයුතු සැළසුම් කිරීම වැදගත්. එහිදී ආවේගශීලී නොවී කරුණු කාරනා මැනවින් වටහාගෙන කටයුතු කිරීම අප කාගේත් වගකීමයි.
මෙම වැව සහ බැම්ම රැක ගැනීමේ යුතුකම පොළොන්නරුවට සම්බන්ධ අප සියලු දෙනාට තිබෙනවා. ඒ වගකීම ලක්වැසි සැමට තිබෙනවා. ඒ ගැන අවධියෙන් සිටීම හොඳයි. ඒ වගකීමෙන් මිදෙන්න කාටවත් බැහැ. මේ රටේ ජනතාව පැරකුම් රජ දවස පටන් කටයුතු කර තිබෙන්නේ ඒ විදිහටයි. ඒ ගැන එලෙස කටයුතු කරන අතරම මෙබදු යෝජිත නව වැඩපිළිවෙළ වල වැදගත්කම සම්බන්ධවත් ඉදිරියට සලකා බලන්න සිදුවෙනවා.
අතීතයේ රට කෘෂිකාර්මික ගොවි ජනපද වලින් පිරී තිබුණා. අද පොළොන්නරුව ලෝක උරුමයකට ඇතුළත්ව තිබෙනවා. ඒ නිසා මේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල ජනතාව පොළොන්නරුව බලන්න එනවා. ඒ එන අයට අවශ්‍යය යටිතල පහසුකම් ලබාදිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියට පැවරී තිබෙන්නේ එම වගකීම ඉටු කිරීමයි.
වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිසට පහසුකම් සැළසෙන බුද්ධිමත් වැඩපිළිවෙළකට අපි කවුරුත් එළඹීය යුතුයි. දැන් මේ රට දුවන්නේ කෘෂිකර්මාන්තයෙන්ම පමණක් නොවෙයි. සංචාරක කර්මාන්තයෙන්ද බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට වෙනස් වුවත් අපට පේනවා සංචාරක ක්ෂේත්රයේ වැදගත්ම.
අතීතය,අනාගතය හා වර්තමානය ගැන සිතා පටු ආකල්ප වලින් මිදී කටයුතු කිරීම අප කාගේත් වගකීම හා යුතුකමයි.ඒ ගැන බුද්ධිමත්ව කල්පනා කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි.