කීර්ති ප්‍රනාන්දු –
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත ගොනු මැකී යාමේ සිද්ධියට සම්බන්ධව එම දත්ත පද්ධතිය මෙහෙයවූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.
මේ වනවිට එම දත්ත ගොනු මැකී යෑම පිළිබඳව අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඖෂධ නියාමන අධිකාරිය මෙම පෞද්ගලික ආයතනය සමග 2018 වසරේ දී මෙම දත්ත පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා ගිවිසුම්ගත වී ඇති බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ද එම ව්‍යාපෘති කළමනාකරණය බාරව කටයුතු කර ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇතැයි පැවසේ.
මේ වනවිට එම දත්ත පද්ධතියේ තිබූ ඖෂධ නියෝජිත ආයතන පිළිබඳ ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත ඖෂධ නිශ්පාදනාගාර පිළිබඳ දත්ත, සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් පමණ ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙම දත්ත පද්ධතිය මෙහෙයවූ සැමටම විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් ඖෂධ නියාමන අධිකාරිය කියයි.