යුක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ඇන්ඩ්‍රි පරුබියි ඊයේ (30) බටහිර නගරයක් වන ලිවිව්හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතකයා පලා ගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි යුක්රේන නීතිපති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.

54 හැවිරිදි පරුබියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර 2016 අප්‍රේල් සිට 2019 අගෝස්තු දක්වා යුක්රේන පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු 2013-14 කාලය තුළ යුක්රේනයට යුරෝපීය සංගමය සමඟ සමීප සබඳතා ඉල්ලා සිටි විරෝධතා නායකයින්ගෙන් කෙනෙකි.
ඔහු 2014 පෙබරවාරි සිට අගෝස්තු දක්වා යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ද විය. එම කාලය තුළ නැගෙනහිර යුක්රේනයේ සටන් ආරම්භ වී රුසියාව ක්රිමියානු අර්ධද්වීපය ඈඳා ගත්තේය.
යුක්රේනයේ රුසියා යුද්ධයට මෙම ඝාතනයට සෘජු සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව නිලධාරීන් කිසිදු ක්ෂණික ඇඟවීමක් ලබා දුන්නේ නැත. ඝාතකයාගේ අනන්‍යතාවය හෝ අභිප්රායන් පිළිබඳව ද ඔවුහු මුනිවත රකිති.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉහෝර් ක්ලිමෙන්කෝ සහ නීතිපති රුස්ලාන් ක්‍රව්චෙන්කෝ මෙන්ම ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි X හි මේ ඝාතනය ගැන මූලික සටහන් තබා තිබේ. ඔහු පරුබියිගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට සිය ශෝකය පළ කළ අතර මෙම අපරාධය කළ ඝාතකයා සොයා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවට සහතික වී තිබේ.
.







