-
අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ දුරකථන යොදාගෙන ජාවාරම් කරන බවට බුද්ධි අංශ විසින් ටික දිනකට පෙර අනාවරණය කරගෙන
ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන පෙරේදා (22) දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ආ රුපියල් මිලියන 4000ක ( කෝටි 40ක, එනම් බිලියන 04ක) පමණ වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 212ක ප්‍රමාණය මෙරටට ඇණවුම් කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ සිට ඇනවුම් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ වරදට අත් අඩංගුවට ගෙන බූස්ස අධි ආරක්ෂිත බන්ධදනාගාරය තුළ රඳවා සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවන් දෙදෙනෙකි.
මෙම මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියත් ජංගම දුරකතන භාවිතා කරමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අනාවරණයකර ගනිමින් කළ දීර්ඝ ආවේක්ෂණයකදී ඔවුන් විසින් කළ මෙම මත්කුඩු ඇණවුම ගැන තොරතුරු හෙළිවී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඒ අනුව පොලිසිය හා නාවික හමුදාව හා එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමක දී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91ක් පමණ (කිලෝමීටර් 168ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබිණි.
පකිස්තානු ජාවාරම්කරුවන් විසින් පකිස්තානයේ සිට හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් පිරවූ යාත්‍රාවක් මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන විත් එයින් කොටසක් මෙම බහුදින යාත්‍රාවට පටවා ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
සෙසු මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන්ගේ ඇණවුම්වලට අනුව වෙනත් බෝට්ටුවලට පටවා ඇතැයි ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.
පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ උර දොළහක් (12) තුළ පාර්සල් එකසිය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.
එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් 05 දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 53 අතර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.







