දිනසේන රතුගමගේ –
ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුලුවීමේ චෝදනාව මත යාපනයේ ධීවරයින් 21 දෙනෙකු තමිල්නාඩු නාවික හමුදාව විසින් ඊයේ (16 ) අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ වඩමරච්චි ප්‍රදේශයෙන් මුහුදු ගිය මෙම ධීවරයින් පිරිස ගමන් ගත් බෝට්ටු පහක්ද තමිල්නාඩු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන කරෙයිකාල් වෙත රැගෙන ගොස් තිබේ.
තමිල්නාඩූ නාවික හමුදාව විසින් මේ ධීවරයින් 21 දෙනා අත් අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ බෝට්ටු තුළ ඔක්සිජන් සිලින්ඩර් හා අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 200 ක් පමණ තිබී ඇත.
තමිල්නාඩු නාවික හමුදාව කරෙයිකාල් පොලීසිය වෙත මෙම ධීවරයින් පිරිස බාර දෙන ලද අවස්ථාවේදී එම මූදු කූඩැල්ලන් ඉන්දීය මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස අල්ලාගත් බව සඳහන් කොට තිබේ.
අත් අඩංගුවට පත් වූ යාපනයේ ධීවරයින්ට අයත් බෝට්ටු පහ කරෙයිකාල් වරයේ නවතා ඇති අතර ධීවරයින් පිරිස කරෙයිකාල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







