පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුල්ලේරියාවේ නිවසකට කඩා පැන පුද්ගලයින් දෙදෙනකුට වෙඩි තබා එක් පුද්ගලයෙක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ජිලේ නැමැති පාතාල අපරාධකරු කොළඹින් පිටත පොලිස් ස්ථානයකට භාරවීමේ සූදානමක් ඇතැයි පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබි ඇත.
දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව ඔහු භාරවන්නේ එම ඝාතනය හා බැදුණු තොරතුරු සඟවන්නට බවද සදහන්ය.

මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 25 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පොලීස් මූලස්ථානය සඳහන් කර ඇත්තේද ඔහු අත්අඩංගුවට ගැනීම අතිශයින්ම අත්‍යවශ්‍ය වී ඇති බැවිණි.
ඩුබායි හී රැඳී සිටිමින් මේ වන විට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ ගෝලයෙක් වූ ජිලේ එම වෙඩි තැබීම කර ඇත්තේද හරක් කටාගේ කොන්ත්‍රාත්තුවකටය.
හරක් කටා පොලීසියේද දූෂිත නිලධාරීන් රැසක් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වන අයෙක්වන අතර මෙම භාරවීමත් ඔහු ඩුබායි සිට කෙරන සැළසුමක් බව බුද්ධි අංශ සඳහන් කරයි.
බොහෝ විට දකුණු පළාතේ හෝ සබරගමුව පළාතේ පිහිටි පොලිස් ස්ථානයකට ඔහු භාරවීමට නියමිතව ඇති අතර ඔහුගේ බිරිය සහ මවද අත්අඩංගුවට ගන්නේ හම්බන්තොට නිවසක සැඟවී සිටියදීය.







