සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි –
විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් පමණක් මෙතෙක් අත් දුටු ඈත දුර අවිනිශ්චිත අනාගතය අපේ ගෙයි එළිපත්තටම රැගෙන එන විස්මිත පෙරැළියක් පසුගිය සතියේ සිදුවුණා. ඒ අභ්‍යවකාශය පුරා ජනාවාස තනන්නට සැරැසෙන අති නවීන ලෝකය වෙත පිවිසීමේ ස්වර්ණමය දොරටුවක් ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික සංවර්ධන ක්ෂේත්රයට විවර කරමින් අපේ රටේ පළමු කොන්ටම් පරිගණකය දොරට වැඩීමත් සමග. එය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ කොන්ටම් යුගයේ අසිරිමත් ආරම්භය.
අපේ රටේ මුල්ම කොන්ටම් පරිගණකය ඇතුළත් නවතම විද්‍යාගාර පහසුකම 2026 ජනවාරි 21 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුව අනුබද්ධීත කොන්ටම් පරිගණකකරණයේ ගණිතමය ආකෘති නිර්මාණය සඳහා වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ගණිත විද්‍යා දෙපාර්තමේන්තුවේ ගණිතමය ආකෘති නිර්මාණය සඳහා වූ පර්යේෂණ හා සංවර්ධන නව මධ්‍යස්ථානයේ කොන්ටම් පරිගණක පිළිබඳ පර්යේෂක මහාචාර්ය අනුරාධ මහසිංහ ප්රමුඛ ගණිතඥ, පරිගණක විද්‍යාඥ සහ තාක්ෂණ විශේෂඥ පිරිසක් මෙම ඉතිහාසගත සමාරම්භක උත්සවයට සහභාගී වී සිටියා.
මෙදින ශ්‍රී ලංකාවට ලැබුණු පළමු කොන්ටම් පරිගණකය න්‍යෂ්ටික චුම්බක අනුනාද මඟින් ක්‍රියාත්මක වන්නක් වන අතර එය කොන්ටම් පරිගණනයේ සියලුම අංග ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට භාවිතා කළ හැකි අතිනවීන උපාංගයක්. මෙය නිපදවා ඇත්තේ චීනයේ ස්පින්කිවු සමාගම විසින්. ලොව ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල කොන්ටම් පරිගණක විද්‍යාව ඉගැන්වීමට සහ පර්යේෂණවලට භාවිත කරන මෙම නවීන පහසුකම දැන් කොළඹ විශ්වවිද්‍යාලය සතුයි.

ශ්‍රී ලංකාවේ මෙම මුල්ම කොන්ටම් පරිගණක මෘදුකාංග ලබා ගැනීම සහ නව කොන්ටම් පරිගණක පහසුකම ස්ථාපිත කිරීම මෙන්ම කලකට පෙර පළමු කොන්ටම් පරිගණන විෂයයමාලා සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා පෙරමුණ ගෙන තිබුනේ මෙම ක්ෂේත්රයේ ප්රවීණයකුවන මහාචාර්ය අනුරාධ මහාසිංහ. ඔහුට මෙම පළමු කොන්ටම් පරිගණක පහසුකම ස්ථාපිත කිරීමේ පුරෝගාමී සද්-කාර්යය සඳහා සියලු අතහිත ලබාදී තිබුනේ කොළඹ විශ්ව විද්‍යාලයේ නවඋප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක සහ ගණිත අංශයේ මහාචාර්ය සංජීව පෙරේරා.
මහාචාර්ය අනුරාධ මහසිංහට අනුව ශ්‍රී ලංකාවට කොන්ටම් පරිගණනය හඳුන්වා දීමට සහ මුල්ම කොන්ටම් පරිගණකය ගෙන ඒමට ඔහු තූළ අරගල කළ දිගුකාලීන සිහිනය දැන් යථාර්ථයක්. මෙම ජයග්‍රහණය දක්වා ඔහු තම ජීවිත ගමන පිළිබඳව මතක් කළේ කුප්පි ලාම්පු අලෝකයෙන් පාසල් වැඩ කරන යුගයක සිට, දැනුම සඳහා පොත් පත් මත පමණක්ම යැපෙමින් රූපවාහිනිය හා පරිගණකය උසස් පෙළ පන්තිවලදි පමණක් දැක ඇති පරම්පරාවක සිටයි. දැන් ශ්‍රී ලංකාව කොන්ටම් යුගයට ගෙන යාමේ පුරෝගාමී නව විද්‍යාත්මක අධ්‍යාපනය සඳහා මූලික පදනමක් දැමිමට ලද අවස්ථාව විස්මිත වෘත්තීය ජයග්‍රහණයක් බව ඔහු පවසයි.
මහාචාර්ය අනුරාධ මහසිංහ පවසන පරිදි, කොන්ටම් පරිගණක යනු සම්භාව්‍ය පරිගණක හා සසඳන විට ඇදහිය නොහැකි තරම් වේගවත් නවිනතම තාක්ෂණික මෙවලමක්. නිදසුනක් ලෙස සාම්ප්‍රදායික ක්‍රම සහ පරිගණක භාවිතයෙන් විසඳීමට වසර සිය ගණනක් ගතවන ගැටලූ පැය කිහිපයකින් විසඳීමට ඒවාට හැකියි.
කොන්ටම් පරිගණක නිර්මාණය කර ඇත්තේ එකවර බහු සංකීර්ණ ගණනය කිරීම් සිදු කිරීමට හැකි වන පරිදි. එමඟින් සංකීර්ණ ක්‍රියාවලීන් විදිලි වේගයෙන් විසඳීමට ඒවා සමත්. කොන්ටම් පරිගණනයට සංකීර්ණ දත්ත විශාල ප්‍රමාණයක් එකවර සැකසීමට හැකියි. මේ නිසා සකල විද්‍යා ක්ෂේත්රයන්හීම පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු මෙන්ම දැනුම රැස්කිරීම සමග නව නිෂ්පාදන නොසිතූ විරූ වේගයකින් ඉහළ යාමට මෙයින් ලැබෙන්නේ විස්මිත බලපෑමක්. අණු වල හැසිරීම අනුකරණය කිරීමට සහ ඖෂධ අතර අන්තර්ක්‍රියා අනුකරණය කිරීමට රසායන විද්‍යාව සහ ජෛව වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්රවලදි මෙම විශීෂ්ට තාක්ෂණික හැකියාව භාවිත කිරීමෙන් පහසුවෙන්, ඉක්මනින් සහ අඩු වියදමකින් පුද්ගලාරෝපිත නව ඖෂධ නිපදවීමට හැකිවීම මෙයින් ලැබෙන එක් අපූරු කුසලතාවකට යස නිදසුනක්.
දැන්, නව පරිගණකයේ සම්ප්රාප්තියත් සමග අපේ සිසුන්ට කොන්ටම් පරිගණන ක්ෂේත්රයේ රාජ්‍ය මට්ටමේ පිළිගත් උසස් නිරවුල් කොන්ටම් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ කොළඹ විශ්ව විද්‍යාලය තුළින්. කොළඹ විශ්වවිද්‍යාලයේ දීර්ඝකාලීන භූමිකාව අනුව එය ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා බුද්ධිමය සංවර්ධනයේ මධ්‍යස්ථානයක්. නව කොන්ටම් පරිගණක පර්යේෂණාගාර පහසුකම සමග දැන් එය දකුණු ආසියාවේ තාක්ෂණික ජාලය සමඟ අත්වැල් බැඳගත් සුවිශේෂ මධ්‍යස්ථානයක්.
දැනටමත් කොළඹ විශ්ව විද්‍යාලය පරිගණක ගණිතය පිළිබඳ බීඑස්සී ගෞරව උපාධි මට්ටම දක්වා ක්‍රමානුකූලව මෙරට කොන්ටම් පරිගණනය හැදෑරීමට අවස්ථාව ලබා දී ඇති ප්රමුඛ රාජ්‍ය ආයතනය. එයට න්‍යායාත්මක හා ප්‍රායෝගික පර්යේෂණ යන දෙකම ඇතුළත්. ගණිත ගෞරව උපාධිය සමග සම්බන්ධ කොන්ටම් පරිගණන අධ්‍යයන මගින් එහි දැන් අරමුණ කර්මාන්ත හා පෞද්ගලික අංශයේ ඉල්ලුමට ගැලපෙන ගණිතමය හා පරිගණක කුසලතා ඇති උපාධිධාරීන් බිහිකිරීම.
ඉතින් මෙම නව ආරම්භයත් සමග කොන්ටම් පරිගණකකරණයේ සරු ප්රතිලාභ සොයා යාමට අවසානයේ නව මංපෙත් විවර කර දී ඇත්තේ අපේ අනාගත පරපුරට. තවත් පර්යේෂණ සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සමඟින්, ජාතික සංවර්ධනය සඳහා කොන්ටම් පරිගණකකරණයේ ජවය නොපමාව උපයෝගී කර ගැනීමට දැන් ශ්‍රී ලංකාව සූදානම් විය යුතුය. ( ඉරිදා ලංකාදීප )







